2026 සැප්තැම්බර් 25 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා කාලය “ජාතික ළමා සතිය 2026” ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇති අතර, ඔක්තෝබර් 1 වැනිදාට යෙදෙන වාර්ෂික ලෝක ළමා දිනයට සමගාමීව ජාතික ළමා සතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ළමා අයිතිවාසිකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. වර්තමානයේ දරුවන් මුහුණ දෙන වෙනස් වෙමින් පවතින අභියෝග සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කිරීමට මෙහිදී අපේක්ෂා කෙරේ.
වර්තමානයේ ළමා ආරක්ෂාව සම්බන්ධ සාම්ප්‍රදායික ගැටලු වලට අමතරව අන්තර්ජාලය සහ ඩිජිටල් තාක්ෂණය ආශ්රිත අවදානම්, මානසික හා සමාජීය පීඩන, නොසලකා හැරීම් සහ සමාජ ආර්ථික දුර්වලතා ඇතුළු කරුණු රැසක් දරුවන්ට බලපාන බව නිලධාරීන් පෙන්වා දී ඇත.
එබැවින් දරුවන් අතර පමණක් නොව, දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සේවා සපයන්නන් සහ මහජනතාව අතරද මේ සම්බන්ධයෙන් දැනුවත්භාවය ඉහළ නැංවීම අවශ්‍ය බව බලධාරීන් අවධාරණය කර තිබේ. දරුවන් සමඟ සමීපව කටයුතු කරන මෙම සියලු පාර්ශ්වයන් ළමා ආරක්ෂාව සඳහා වැදගත් භූමිකාවක් ඉටු කරන බවද පෙන්වා දී ඇත.
ජාතික ළමා සතියක් ප්‍රකාශයට පත් කිරීම තුළින් ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, දරුවන් සම්බන්ධයෙන් සමාජ සංවේදීතාව ශක්තිමත් කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික ළමා සතිය පුරා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


