පමුණුගම වෙරළ ඛාදනයට සහ සීදූව කර්මාන්ත ගැටලුවලට කඩිනම් විසඳුම්: කාදිනල් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමඟ විශේෂ සාකච්ඡාවක්

මුතුරාජවෙල තෙත්බිම, මීගමුව කලපුව සහ ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක පවතින උග්ර පාරිසරික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් යුත් දූත පිරිසක් පසුගිය 30 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවිය.
මෙම විශේෂ සාකච්ඡාවේදී මුතුරාජවෙල අභයභූමියට හා තෙත්බිම් කලාපයට සිදුවන පාරිසරික හානි, පමුණුගම වෙරළ තීරය ආශ්රිතව සිදුවන වෙරළ ඛාදනය සහ පිරිහීම මෙන්ම සීදූව, ලියනගේමුල්ල ප්රදේශයේ කර්මාන්තශාලා ආශ්රිතව මතුව ඇති පාරිසරික ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, බලපෑමට ලක්ව ඇති මෙම ප්රදේශවල සිදුවන වැඩිදුර පාරිසරික හානි වහාම වැළැක්වීමට අවශ්ය සියලු ක්රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා අදාළ රාජ්ය නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දුන්නේය.
තිරසාර විසඳුම් සඳහා ඒකාබද්ධ කමිටු
මෙම පාරිසරික අර්බුදයන්ට දීර්ඝකාලීන හා තිරසාර විසඳුම් හඳුනාගැනීම සඳහා මහජන නියෝජිතයන් සහ ප්රජා සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටු පිහිටුවීමටද මෙම හමුවේදී තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා ජේ. ඩී. ඇන්තනී රදගුරුතුමන්, ගරු සිරිල් ගාමිණී පියතුමන්, ගරු නිලන්ත හේෂාන් පියතුමන් ඇතුළු කතෝලික පූජකවරුන් රැසක්ද, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලසිත් භාෂණ ගමගේ සහ ස්ටෙෆනි ප්රනාන්දු යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
මීට අමතරව රජයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්, පරිසර අමාත්යාංශයේ නියෝජිතයන් සහ ආරාධිතයින් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
