ප්රධාන ගනුදෙනු රැසක් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කෙරේ

බැංකු ගිණුම් විවෘත කිරීම, ඉඩම් සහ වාහන ලියාපදිංචි කිරීම, ව්යාපාර ලියාපදිංචිය මෙන්ම ණයපත් (Credit Cards) ලබාගැනීම ඇතුළු ප්රධාන ගනුදෙනු රැසක් සඳහා වලංගු ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක’ (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අද (නොවැම්බර් 01) සිට අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නිවේදනය කරයි.
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ හඳුන්වා දී ඇති මෙම නව නීතිමය අවශ්යතාව, දේශීය ආදායම් පනතේ 102(3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති ගනුදෙනු සඳහා සෘජුවම බලපැවැත්වේ.
TIN සහතිකය අනිවාර්ය වන ප්රධාන ගනුදෙනු:
ඒ අනුව අද සිට ක්රියාත්මක වන පරිදි පහත සඳහන් සේවාවන් ලබාගැනීමේදී වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ:
- බැංකු හෝ මූල්ය ආයතනවල නව ගිණුම් විවෘත කිරීම
- ගොඩනැගිලි සැලසුම් අනුමත කරගැනීම
- මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම
- වාහන ආදායම් බලපත්ර අලුත් කිරීම
- ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම
- නව ව්යාපාර ලියාපදිංචි කිරීම
ශ්රී ලංකාවේ සමාගම්වල කොටස් පැවරීම (මෙහිදී ගැනුම්කරු සහ විකුණුම්කරු යන දෙපාර්ශ්වයම සිය TIN තොරතුරු සැපයිය යුතුය)
ණයපත් (Credit Cards) ලබාගැනීම
අදාළ ගනුදෙනු සිදුකිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර, නියමිත TIN ලියකියවිලි ඉදිරිපත් කර ඇත්දැයි නිසි පරිදි තහවුරු කරගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අදාළ සියලුම නිලධාරීන්ට සහ රාජ්ය හා පෞද්ගලික ආයතන වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ.
සහතිකය ලබාගන්නේ සහ තහවුරු කරන්නේ කෙසේද?
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල මාර්ගගත ‘e-Services’ පද්ධතිය ඔස්සේ කල්වේලා ඇතිව ඊට ලියාපදිංචි වන ලෙස උපදෙස් දෙනු ලැබේ.
එමෙන්ම, දැනටමත් ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට තම TIN අංකය අදාළ e-Services ද්වාරය හරහා සත්යාපනය (Verify) කරගත හැකි අතර, ජාතික හැඳුනුම්පත් (NIC) අංකය සහ TIN අංකය දිස්වන එම සත්යාපන පිටුවේ මුද්රිත පිටපතක් (Printout) නිල සහතිකයට විකල්පයක් ලෙස ඉදිරිපත් කිරීමට පිළිගන්නා බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2023 දෙසැම්බර් 31 වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම මෙරට නේවාසික පුද්ගලයින්ට මෙන්ම, 2024 ජනවාරි 01 වැනි දිනෙන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ සම්පූර්ණ වන සියලුම පුරවැසියන්ට වයස අවුරුදු 18 සපිරුණු වහාම TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය නීතිමය අවශ්යතාවක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යළිත් අවධාරණය කරයි.
