කොට්ටාව ප්රදේශයේ පෞද්ගලික අධ්යාපන ආයතනයක සිසුන්, මවුපියන් සහ ගුරුවරුන් පිරිසක් රැගත් බස් රථය මාටින් වික්රමසිංහ ජනකලා කෞතුකාගාරයේ සංචාරයකින් පසු ආපසු පැමිණෙමින් සිටියදී ඔක්තෝබර් 25 වැනිදා පස්වරු 2.15ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සීනු නාද වෙමින් තිබියදීත්, රතු සංඥා පහන් දැල්වෙමින් තිබියදීත් රියදුරු බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ කර ඇති බව නියෝජ්ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
පොලිසියට අනුව, බස් රථයේ සිටි සිසුන් රියදුරුට නතර කරන ලෙස කෑගසා අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. එහෙත් රියදුරු බස් රථය දුම්රිය හරස් මාර්ගයට ධාවනය කර ඇති අතර, එහි පසුපස කොටසේ දුම්රිය ගැටී ඇත.
අනතුරින් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් සිසුන් අටදෙනෙකු තවදුරටත් රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබන අතර, එක් සිසුවෙකු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි. සෙසු සිසුන් ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
මෙම සිදුවීම අතිශය අනතුරුදායක හා නොසැලකිලිමත් රිය ධාවනයක් ලෙස හැඳින්වූ නියෝජ්ය පොලිස්පති සේනාධීර මහතා, එය යංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරට සමාන මහා ඛේදවාචකයක් බවට පත්වීමට ඉඩ තිබූ බව ද පැවසීය.
රියදුරුට සිදු කළ ශ්වසන පරීක්ෂණයේදී මත්පැන් පානය කර ඇති බවට සාක්ෂි හමු නොවූ නමුත්, ඔහු වැඩිදුර මත්ද්රව්ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව දණ්ඩ නීති සංග්රහය යටතේ මිනීමැරීමට තැත් කිරීම ඇතුළු බරපතළ අපරාධ චෝදනා ගොනු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
සිසුන් ඇතුළු මගීන් දුසිම් ගණනක් බස් රථයේ සිටියදීත්, පැහැදිලි අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් රියදුරු ඉදිරියට ධාවනය කර ඇත්තේ එහි ඇති විය හැකි බරපතළ ප්රතිවිපාක නොසලකා හරිමින් බව ද ඔහු පෙන්වා දුන්නේය.
දුම්රිය හරස් මාර්ගවලදී අනතුරු ඇඟවීමේ සංඥා පහන්, සීනු සහ හරස් මාර්ග භාර නිලධාරීන්ගේ උපදෙස් දැඩිව පිළිපදින ලෙස නියෝජ්ය පොලිස්පතිවරයා සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය. කඩිමුඩියේ දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම මාරාන්තික අනතුරුවලට හේතු විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.


