වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්රව්ය තොගයක් පොලිස් දැලට

“එක්සත් ජාතියක්” (A Nation United) ජාතික මෙහෙයුම යටතේ 2024, 2025 සහ 2026 යන වසර තුනක කාලසීමාව තුළදී රුපියල් බිලියන 249කට අධික (රුපියල් කෝටි 24,900කට වැඩි) වටිනාකමකින් යුත් දැවැන්ත නීතිවිරෝධී මත්ද්රව්ය තොගයක් ශ්රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා අනාවරණය කළේය.
පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ වැටලීම් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක දත්ත හෙළිකරමින් පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, මෙම වසර තුන ඇතුළත දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් නීතිය ක්රියාත්මක කරන බලධාරීන් විසින් ප්රබල මත්ද්රව්ය විශාල ප්රමාණයක් සිය භාරයට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්රව්ය සහ ඒවායේ වටිනාකම
අයිස් (ICE – Methamphetamine): කිලෝග්රෑම් 7,129ක් – වටිනාකම රුපියල් බිලියන 121.644කි.
හෙරොයින් (Heroin): කිලෝග්රෑම් 4,483ක් – වටිනාකම රුපියල් බිලියන 107.942කි.
කොකේන් (Cocaine): කිලෝග්රෑම් 333ක් – වටිනාකම රුපියල් බිලියන 14.306කි.
ගංජා (Cannabis): කිලෝග්රෑම් 33,277ක් – වටිනාකම රුපියල් බිලියන 5.293කි.
ඒ අනුව, මෙරට විනාශ කිරීමට රැගෙන ආ රුපියල් බිලියන 249.18කට අධික දැවැන්ත මත්ද්රව්ය ජාලයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ.
ග්රෑම් 5ට වැඩි නම් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් මෙරට ක්රියාත්මක වන දැඩි නීතිමය ප්රතිපාදන පිළිබඳව අවධාරණය කළ පොලිස් මාධ්ය ප්රකාශකවරයා, 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත සහ 2022 අංක 41 දරන සංශෝධන පනත ප්රකාරව වැරදිකරුවන්ට එරෙහිව උපරිම දඬුවම් ක්රියාත්මක වන බව සිහිපත් කළේය.
ඒ අනුව, හෙරොයින්, අයිස් (Ice) හෝ කොකේන් ග්රෑම් 5කට (05g) වැඩි ප්රමාණයක් සන්තකයේ තබාගැනීම, සන්තකයේ තබාගැනීමට තැත් කිරීම, ජාවාරම් කිරීම, බෙදාහැරීම හෝ නිෂ්පාදනය කිරීම යන වැරදිවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට මහාධිකරණය මඟින් වරදකරු කරනු ලැබීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් හෝ මරණ දණ්ඩනය නියම වන බව පොලිසිය මහජනතාවට දැඩිව අනතුරු අඟවයි.
