පවතින සේවාවන් පුළුල් කරමින් වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම අපේ රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම් බව අග්‍රාමාත්‍යවරයා සිය මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියා සිටියා.
“ශ්‍රී ලාංකීය කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය දශක ගනනාවක් තිස්සේ අයිතීන්, යුක්තිය සහ අභිමානය වෙනුවෙන් කරන ලද ලේ, දහඩිය සහ පරිත්‍යාග වලින් හැඩගැසුණු විශිෂ්ට ගමනකි. 1893 මුද්‍රණ සේවක වර්ජනයෙන් පටන් ගෙන මේ රටේ වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටියේය. 1923 සහ 1947 රාජ්‍ය සේවා වැඩ වර්ජනය රටේ ආර්ථික හා සමාජ පරිවර්තනය පිටුපස සැබෑ ‘ගාමක බලවේගය’ එහි වැඩ කරන ජනතාව බව යලිත් තහවුරු කලේය.
වතුකරයේ, වරායවල, දුම්රිය මාර්ගවල සහ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම කම්කරුවන්ගේ අමිල දායකත්වය මම ගෞරවයෙන් පිළිගනිමි, ඔවුන්ගේ කැපවීම අද අපට ප්‍රතිලාභ ලැබෙන බොහෝ කම්කරු අයිතිවාසිකම් සඳහා පදනම දැමුණි.
1886 වසරේ චිකාගෝ නුවර පැය අටක වැඩ දිනයක් සඳහා වූ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරුවන් ඇතුළු ලොව පුරා වෙසෙන සියලුම වැඩකරන ජනතාවට අපි නැවත වරක් ගෞරවාන්විතව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මොහොතේ අපගේ උපහාරය පුදකර සිටිමු. ශ්‍රී ලාංකීය ගෞරවනීය කම්කරු ප්‍රජාව හරහා රජයක් යටතේ මෙවර මැයි දිනය සමරන බැවින් මෙවර මැයි දිනය විශේෂ වැදගත්කමක් දරයි.
ශ්‍රමයට නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම අපේ රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීම් වේ. ඒ අනුව දැනට පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සාධාරණ සහ ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.
සියලුම පුරවැසියන්ට සාධාරණ හා සමාන ප්‍රවේශයක් සහතික කිරීම රජයේ මූලික අරමුණකි. එය අනුගමනය කරමින් සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. වැටුප් නොලබන ශ්‍රමය හඳුනාගෙන වැටුප් නොලබන ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂාව සහතික කරන ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම අපේ රජයේ ප්‍රමුඛතා අතර වේ.
සියලු ශ්‍රමය අගයන, අයිතීන් සුරකින, සමානාත්මතාවය ඇති රටක් ගොඩනැගීමට සමගියෙන් එක්ව ඉදිරියට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුයි. සියලුම වැඩකරන ජනතාවගේ ශක්තියෙන් සහ කැපවීමෙන්, අපි සැමදෙනාම බෙදාහදා ගන්නා දැක්ම ඉක්මනින්ම සාක්ෂාත් කර ගනිමු: “දියුණු වන ජාතියක් – සුන්දර ජීවිතයක්,” ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


