Google

Google හී දස වසරකට පෙර ඇ.ඩො. දහසක් ආයෝජනය කළේ නම්…. අද ඔබේ වත්කම…

Carsten Koall/Getty Images
Carsten Koall/Getty Images

ගෙවීගිය සැප්තැම්බර් 27 වන දිනට ගූගල් ආයතනයට වසර 21කි. දශක දෙකකට වඩා වැඩි කාලයක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳෙමින් මේ තාක්ෂණ දැවැන්තයා ළඟා කරගත් දේ බොහෝය. එය ලොව වැඩියෙන්ම භාවිත වන වෙබ් අඩවි අතරින් එකකි.  ගූගල් නාමය කෙතරම් ලොව පුරා ජනප්‍රියද යත් මේ වන විට එය ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ පිළිගත් ක්‍රියා පදයක් බවට පත් වී හමාරය. (seriously-Google it!)

Google ජනතාව අතරට පැමිණීමෙන් පසු අත් කරගත් සාර්ථකත්වය එහි  ආයෝජකයන්ට සිදු කල බලපෑම සුළු පටු නොවේ. CNBC ආයතනය විසින් සිදු කල ගණනය කිරීම්වලට අනුව 2009 වසරේ සිදු කළ ඇ.ඩො. 1000ක ආයෝජනයක, 2019 වසරේ ඔක්තොම්බර් මාසය වන විට වටිනාකම ඇ.ඩො 4800  ඉක්මවා තිබිණි. එය 400% අති විශාල ප්‍රතිලාභයකි. මීට සාපේක්ෂව එකී කාල සීමාව තුළම S&P සමාගමේ ඇ.ඩො 500යේ කොටසකට හිමිව ඇත්තේ, 250% ට වඩා ඉතාම සුළු අගයකින් වැඩි ප්‍රතිලාභයක් පමණි. 2004 වසරේ ජනතාව අතරට පැමිණි S&P සමාගම සතු වර්තමාන කොටසක අගය ඇ.ඩො 1200ක් පමණ වේ.

ඕනෑම තනි කොටසක අගය නියමිත අගයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් පැවතිය හැක. එසේම අතීතයේ ආයතනය ලද ප්‍රතිලාභ මත පදනම්ව  එහි අනාගතය  පුරෝකථනය කිරීමද කළ නොහැක්කකි. කරුණු කාරණාවන් මෙසේ වුවද, වසර ගණනාවක් තිස්සේ ගූගල් ආයතනයේ කොටස් ඉතා හොඳ මට්ටමක පවත්වා ගැනීමට ඔවුන් සමත් විය. එසේම තවත් සිහි තබා ගත යුතු වැදගත් කාරණයක් නම් ගූගල් තවදුරටත් ගූගල් නමින් නොව “ඇල්ෆබට්” යන නාමයෙන් හඳුන්වන බවයි. මේ වෙනස සිදු වූයේ 2015දී  සමාගම ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක් ලෙස හා දිනෙන් දින පුළුල් වන ව්‍යාපාර ව්‍යුහයත් නිසාය., පහත සටහනේ දැක්වෙන පරිදි GOOGL යනු ගූගල්හි මව් සමාගම වන ඇල්ෆබෙට් සඳහා කොටස් ටිකර් සංඛේතයකි.

CNBC: Google’s stock since 2009.
CNBC: Google’s stock since 2009.
Google පටන් ගැන්ම කෙබඳුද?

1998 වසරේ ස්ටන්ෆෝඩ්හි පශ්චාත් උපාධිය හදාරමින් සිටි සිසුන් දෙදෙනෙක් ව සිටි සර්ගේ බ්‍රින් සහ ලැරී පේජ් විසින් ගූගල් ආයතනය අරඹන ලදී. මේ මිතුරන් දෙදෙනා එක්ව “මහා පරිමාණයේ සෙවුම් යන්ත්‍රයක මූලාකෘතියක්” නිර්මාණය කිරීම පිළිබඳ අදහස ප්‍රකාශයට පත් කළහ. එය අද අප දන්නා ගූගල් පිළිබඳව ලොවට සිදු කළ ප්‍රථම අනාවරණයයි.

Kim Kulish | Corbis Historical | Getty Images
Kim Kulish | Corbis Historical | Getty Images

ආරම්භයේදී, බ්‍රින් සහ පේජ් ගූගල්හි මෙහෙයුම් කටයුතු සිදු කළේ, ඉතා සීමිත ඉඩකඩක් සහිත කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් නගරයේ පිහිටි කුඩා ගරාජයකයි. නමුත් 1999 වසරේ වසන්තය වන විට කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ නගරයේ පිහිටි හොඳ තත්වයේ පවතින කාර්යාලයකට මෙහෙයුම් මධ්‍යස්ථානය ගෙන යන්නට ඔවුන්ට හැකි විය. 2004 වසරේදී නැවතත් මෙහෙයුම් මධ්‍යස්ථානය නව ස්ථානයක පිහිටවිණි. කැලිෆෝනියාවේ මවුන්ටන් වීව් නගරයේ පිහිටි ගොඩනැගිලි සංකීර්ණයක් වන එය  අද එය හඳුන්වන්නේ “ගූගල්ප්ලේක්ස්” (Googleplx) නමිනි.

1999දී Google උපයාගත් වාර්ෂික ආදායම ඇ.ඩො. 220,000කි. සිව් වසරකට පසුව එනම් 2003දී එම ආදායම ඇ.ඩො. මිලියනයකට ආසන්න අගයක් දක්වා ඉහළ නංවා ගැනීමට ඔවුන්ට හැකි විය. මෙම ජයග්‍රහණය සමග “උතුරු ඇමරිකාවේ වේගයෙන්ම වර්ධනය වන තාක්ෂණික සමාගම” යන නාමය පට බැඳිණි. ඒ ඩෙලොයිට් ආයතනය විසින් 2004 වසරේ සිදු කල වේගවත්ම තාක්ෂණික සමාගම් 500 සඳහා වන ශ්‍රේණිගත කිරීමට අනුවය.

කාලය සමග ගූගල් වැඩුණු හැටි

ගූගල් සමාගමේ වේගවත් වර්ධනය, එම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා දොරටු විවර කළ බව නොරහසකි. 2001 වසරේදී, සමාගමේ අඛණ්ඩ වර්ධනය අරමුණු කර ගනිමින් පේජ් සහ බ්‍රින් විසින්, එරික් ස්මීඩ් ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට බඳවා ගන්නා ලදී. ස්මීඩ්ගේ පරිපාලනය තුළ සෙවුම් යන්ත්‍රයක් ලෙස ගූගල් ආයතනය හිමි කරගෙන සිටි අනන්‍යතාවය අතික්‍රමණය කරමින් ගූගල් තව තවත් ලොව පුරා ප්‍රචලිත විය.

2003දී ගූගල් විසින් “ඇඩ්සෙන්ස්” හඳුන්වා දෙන ලදී. එය තම පරිශීලකයන් අරමුණු කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණකරුවන් යොදා ගන්නා වෙළඳ ප්‍රචාරණ වැඩසටහනකි. අදටත් ගූගල්හි මුළු ආදායමෙන් 85%  උපයන්නේ වෙළඳ ප්‍රචාරණ තාක්ෂනයෙනි. ඒ වෙළඳ ප්‍රචාරණ අවකාශයට පිවිසීමට ගූගල් සමාගම ගත් තීරණය කෙතරම් ලාභදායීද යන්න මොනවට තහවුරු කරමිනි.

ගූගල් විසින් 2005 දී ඇනරොයිඩ් ස්මාර්ට්ෆෝන් වෙළඳපොල අත්පත් කරගත්  අතර 2006දී සමාගම සපයන සේවාවන් අතරට යූ ටියුබ් එක කර ගන්න ලදී.  2011දී තම ස්මාර්ට් ෆෝන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීමට “මෝටරෝලා මොබිලිටි” ආයතනය මිලදී ගත අතර  2013දී  වෙස් (Waze) හෙවත් ස්මාර්ට් ෆෝන් සංචාලන යෙදුම (smartphone navigation app)  මිලදී ගෙන ඇත. 2010 වන විට ගූගල් සමාගම, මසකට වෙනත් සමාගම් දෙක බැගින් තමා සතු කර ගැනීමට සමත්ව සිටියේය.

Getty Images
Getty Images

ස්මිෂ්ගේ නායකත්වය යටතේ, 2004 වසරේ අගෝස්තු මස 19වන දින ගූගල් සමාගම ප්‍රථම වතාවට මහජනතාවට කොටස් නිකුත් කළේය. කොටසක මිල, ඇ.ඩො.85ක  අගයක් යටතේ ඇ.ඩො. බිලියන 1.67 රැස් කර ගැනීමට ඉන් අවකාශය සැලසිණි.  එය Wall Street හෙවත් ඇමරිකානු මූල්‍ය වෙළඳපොලේ තාක්ෂණික අංශය හිමි කරගත් විශාලතම අගය වාර්තා කිරීමට සමත් වූවා පමණක් නොව සමාගමට නව ආකර්ෂණයක් දිනා ගැනීමටත් ගූගල් පරිශීලකයන්ගේ වර්ධනයටත් මහෝපකාරී විය.

පරිශීලකයන්ගේ අදහසට අනුව, අන්තර්ජාල අවකාශයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ගූගල් කුමන හෝ  මගක් නිර්මාණය කර ඇති අතර ඒ අතරට ගූගල් ඩොක්ස්, ගූගල් ශීට්, ජීමේල්, ගූගල් දින දර්ශනය, ගූගල් ඩ්‍රයිව් සහ තවත් බොහෝ පිළිගත් නාමයන් සහිත ගූගල් සේවාවන් ඇතුලත් වේ.

අනෙකුත් සාම්ප්‍රදායික බ්‍රව්සර්  පරදවමින් තම ස්ථානය තහවුරු කර ගන්නට සමත් වූ 2008 වසරේදී හඳුන්වා දුන් “ගූගල් ක්‍රෝම්” ගූගල් සේවාවක් ලෙස කිසි විටෙකත් අමතක කොළ නොහැක. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර්, සෆාරි, මොසිලා ෆයර් ෆොක්ස් වැනි ක්ෂේස්ත්‍රයේ තරඟකරුවන් අභිබවමින් 44.5% වෙළඳපොල ආන්තිකයක් හිමි කරගෙන තරගයේ ඉදිරියෙන්ම සිටීමට ඊට හැකි විය. දෙවන ස්ථානයේ පසුවන සෆාරි සතු වන්නේ හුදෙක්  25.4% පමණකි.

2015 වසරේ අගභාගය වනවිට  සිලිකන් නිම්නයේ වැජඹුණු මේ තාක්ෂණ දැවැන්තයා තීරණය කළේ තම සමාගම් ව්‍යුහය නැවත සැකසිය යුතු බවයි. එහි නව මව් සමාගම ඇල්ෆබට් ලෙස නම් කළ අතර ගූගල් එහි ප්‍රමුඛතම උප සමාගම බවට පත්විය. ප්‍රතිසංවිධානයෙන් පසුව ලාභාදයී ව්‍යාපාර, පර්යේෂණාත්මක ව්‍යාපාර වෙන්ව ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. එමගින් ආයෝජකයන් ආරක්ෂා කර ගනිමින් නව ප්‍රවණතාවන්ට අවකාශය සැලසීමට සමාගමට හැකි විය.

එම වසරේදීම, ගූගල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරේ කටයුතු කළ සුන්දර පිචායි එහි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට උසස් විය.

ගූගල් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වූ බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඇල්ෆබට් සමාගම නිර්මාණය කිරීම නිසා 2018 වන විට ගූගල් හි කොටස් 85%ට වඩා වැඩි අගයක් හිමි කර ගත්තේය. එසේම ඇල්ෆබට් හි අනෙකුත් උප සමාගම් වල ආදායම වසරක් පාසා 50% ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගියේය.

Google -නවතම තොරතුරු

2019 ඔක්තොම්බර් මස 15වන දින ගූගල් ආයතනය විසින් නිව් යෝර්ක්හි පුවත්පත් සාකච්ඡාවක් කැඳවීමට නියමිතය. එහිදී නවතම පික්සල් 4 වර්ගයේ දුරකතනය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම අවස්ථාවට පෙරාතුවම පික්සල් 4 හා පික්සල් 4XL දුරකතනවල ඡායාරූප කරළියට පැමිණ ඇත. දුරකථනය විවෘත (unlock) කිරීමට භාවිත කරන තැනැත්තා දුරකථනය දෙස බැලීම පමණක් ප්‍රමාණවත්ය. මේ එවන් තාක්ෂණයක් යොදා ගත ප්‍රථම දුරකතනයයි.

ෆේස්බුක්, ඇමසන් මෙන්ම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි දත්ත කළමනාකරණය කිරීමට නොහැකි වීම පිළිබඳ මෑතකදී ගූගල් සමාගමටද චෝදනා එල්ල විය. මෙහි ප්‍රතිපලයක් ලෙස පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීම සඳහා සමාගම මේ වන විට පියවර ගනිමින් සිටියි. යු ටියුබ්, සිතියම් සහ කටහඬ සහයක (voice assistant) ආදී සේවාවන් සමග රහස්‍යභාවය තහවුරු කරන නව අංග එක් කිරීමට බලාපොරොත්තු වන බව ගූගල් පවසයි.

ගූගල්, ෆේස්බුක්, ඇමසන් සමාගම් වලට එරෙහිව චෝදනාව එල්ලවන්නේ දත්ත සුරක්ෂිත භාවය පිළිබඳව පමණක් නොවේ. බ්ලූම්බර්ග් වාර්තා අනුව ඔක්තෝම්බර් අග හෝ නොවැම්බර් මුල, කුඩා ව්‍යාපාරවල යහ පැවැත්මට ඔවුන්ගෙන් සිදුවිය  හැකි බලපෑම පිළිබඳ පිළිතුරු සැපයීමට මේ තාක්ෂණික දැවැන්තයන් තුන් කට්ටුවට සිදුවනු ඇත.

Liu Jie | Xinhua News Agency | Getty Images
Liu Jie | Xinhua News Agency | Getty Images

පරිශීලකයන්ගේ විශ්වාසය පළුදු කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන මෙම විමර්ශන ඇල්ෆබට් හි තොග මිල කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරයිද යන්න තවමත් නිශ්චිත නැත. ගූගල් සමාගමේ සෙවුම් ප්‍රතිපත්ති පිළිබඳ සොයා බැලීමට අධිකරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව නිවේදනය කිරීමත් සමග සමාගමේ දෙවන කාර්තුව වෙනුවෙන් තබා තිබූ අපේක්ෂාවන් බිඳලමින් ජුනි මාසයේ තොග මිල 6% වඩා අඩු විය.

ඔබත් ආයෝජකයෙක් වීමට බලාපොරොත්තු වන්නෙක් නම්, වොරන් බුෆේ වැනි ප්‍රවීණයන් බොහෝ විට උපදෙස් දෙන්නේ S&P 500 වැනි දර්ශක අරමුදල් වලින් ආරම්භ කිරීමටයි. දර්ශක අරමුදල් වෙළඳපොල සමග අඩු වැඩි වන බැවින් තනි කොටස් වලට වඩා අවදානම අඩුය. අරාම්භකයින් සඳහා ඒවා ආරක්‍ෂිත තේරීමකි.

බුෆේ විසින් ආයෝජකයන්ට නිතර ලබා දෙන ප්‍රසිද්ධ උපදෙස් දෙකක් ඇත. අංක එක, දිගු ඉතිහාසයක් සහිත සමාගම් වල ආයෝජනය කරන්න. අංක දෙක, ඔබේ දැනුම් පරාසයට වැටහෙන ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කරන්න. 1996 වසරේ කොටස් හිමියන්ගේ ලිපියෙහි (වසරක් පාසා පලවන) ඔහු මෙසේ සඳහන් කර ඇත.  “ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ තෝරාගත් ව්‍යාපාරය, නිවැරදිව විශ්ලේෂණය කිරීමේ හැකියාව පමණයි. මෙහි ‘තෝරාගත්’ යනුවෙන් මා අදහස් කලේ; ඔබ සෑම ව්‍යාපාරයක් සම්බන්ධයෙන් හෝ ව්‍යාපාර කිහිපයක් සම්බන්ධයෙන් විශේෂඥයෙකු විය යුතු බව නොවේ.  ඔබේ හැකියාවන්ට හා දක්ෂතාවන්ට අයත් සීමාව තුල සමාගම් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි”

(අන්තර්ජාලය ඇසුරිනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *