සිංහල පුරාඅක්ෂරවේදය පිළිබඳ පශ්චාත් උපාධි අධ්යයන කටයුත්තක් සඳහා බ්රිතාන්ය පුස්තකාලයේ තිබෙන 13 වන සියවසට අයත් යැයි සැලකෙන සාරත්ථදීපනී විනය ටීකාවේ ප්රථම භාගය පුස්කොළ ග්රන්ථය මේ දිනවල අධ්යයනය කරමින් සිටිමි. මෙම පෞරාණික පුස්කොළ ග්රන්ථය සිංහල අක්ෂරවලින් රචිත දැනට හමුව ඇති පැරණිතම ග්රන්ථ කිහිපය අතර එකකි. බ්රිතාන්ය පුස්තකාලයේ අප්රිකානු ආසියානු එකතුව සතුව පවතින මෙම ග්රන්ථය මැනැවින් සංරක්ෂණය කොට ඉතාමත් ආරක්ෂිත ලෙස පවත්වාගෙන යනු ලැබේ. පුස්කොළ පත්ඉරු ඉතා හොඳ මට්ටමින් ආරක්ෂිතව පවතී. එහි ඉතා වැදගත් කරුණක් අපට නිරීක්ෂණය කළ හැකි විය. එනම්, පුරාණ සිතුවම්වලින් යුතු කම්බයයි.
එහි එම සිතුවම් බැලූ බැල්මට නොපෙනෙන්නේ ඒවාට ඉහළින් පසුකාලීනව යම් ආලේපයක් යොදා ඇති නිසාය. නමුත් අඩු ආලෝක තත්ත්වයක් යටතේ නිරීක්ෂණය කරන විට එහි එම සිතුවම් රේඛා ආදිය හොඳින් නිරීක්ෂණ කළ හැකිය. කලා ඉතිහාසාත්මක දෘෂ්ටි කෝණයකින් බලන විට ඒවා එම පුස්කොළ ලේඛනයට සමකාලීන සිතුවම් බව පෙනේ. පොලොන්නරුව සහ මහනුවර යුග අතරමැද ලක්ෂණ ඒ තුළ පහසුවෙන් හඳුනාගත හැකිය. මහාචාර්ය සේනක බණ්ඩාරනායක ‘Rock and Wall Paintings of Sri Lanka’ ග්රන්ථයේ මෙම සිතුවම් පිළිබඳ ඉතා කෙටියෙන් නමුත් සාකච්ඡා කොට තිබේ. මෙම ග්රන්ථය රිදී විහාරයේ තිබී වාරිමාර්ග ඉන්ජිනේරුවකු වූ හෙන්රි පාකර් විසින් 1902 වසරේ දී පමණ ලබා ගන්නා ලද්දකි. ‘පාර්කර් මහත්මයාගේ විනය ටීකාව’ යැයි ලේබලයක් එහි අලවා තිබේ. ඔහුගේ බිරිඳ එතුමාගේ ඇවෑමෙන් මෙම ග්රන්ථය බ්රිතාන්ය පුස්තකාලයට පරිත්යාග කොට ඇත.
සිංහල පුරාඅක්ෂරවේදය පිළිබඳ කොළඹ විශ්වවිද්යාලයේ අප විසින් සිදුකරන පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතුවලට අදාළව මෙම වටිනා දුර්ලභ මානව කෘතිය අධ්යයනය කිරීමට අවකාශ සලසන ලෙස බ්රිතාන්ය පුස්තකාලයෙන් විද්යුත් තැපෑල මඟින් අප ඉල්ලීමක් කළ විට එහි කාර්ය මණ්ඩලය ඉතා යුහුසුලුව ඒ සඳහා අවකාශ සලසාදුන් අයුරු ප්රශංසනීයය. ස්වකීය එකතු තුළ ඇති පැරණි ලේඛන අධ්යනය කරන තරමට ඒවායේ වටිනාකම ඉහළ යන බව ඔවුන්ගේ අදහසයි. අපගේ ඉල්ලීම ප්රකාරව පුරාවිද්යා විෂයය තුළ අප ලැබූ පරිචයත් ශ්රී ලාංකේය පුස්කොළ ග්රන්ථ සංරක්ෂණයෙහිලා අප ලබා දී තිබූ දායකත්වයත් විමසා බ්රිතාන්ය පුස්තකාලය විසින් විශේෂ මානවකෘතියක් ලෙස වෙන් කොට විශේෂයෙන් ආරක්ෂා කොට තිබූ මෙම පැරණි පුස්කොළ ග්රන්ථය අපට පරිහරණය කිරීමට ලබා දෙන ලදි. ඒ අයුරින්ම අපහට ප්රංශයේ ජාතික පුස්තකාලයේ ඇති මේ කාලයට ආසන්න තවත් දුර්ලභ පුස්කොළ ග්රන්ථයක් අධ්යයනය කිරීමට ද මාර්ගය විවිර කර ගත හැකි විය.
කරුණු එසේ තිබිය දී මා හට මෙම සටහන ලිවීමට සිත් වූයේ මෙම අධ්යයන කටයුතු අතරතුර ශ්රී ලංකාවේ තත්ත්වය සිහිවූ නිසාය. මාගේ අධ්යයන පරාසයට අයත් වන 13 වන සියවසට අයත්යැයි සැලකෙන තවත් පුස්කොළ පොතක් පේරාදෙණිය විශ්වවිද්යාලයීය පුස්තකාලයේ තිබේ. එය අධ්යයනය කිරීමට අවකාශ ලබා දෙන ලෙස ලිඛිතව ද මා හඳුනන ආචාර්යවරුන් හරහා ද බොහෝ කලක සිට පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් ඉල්ලීම් කළෙමි. නමුත්, ඒ පිළිබඳ මා හට තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නොමැත. උපකුලපතිතුමා මාගේ ලිපිය එම ඉල්ලීම ඉටු කොට දෙන ලෙසට සටහනක් ද තබා පුස්තකාලාධිපතිතුමා වෙත යොමු කළ විට, එයට පිළිතුරු ලෙස එතුමා උපකුලපතිතුමා වෙත එවූ ලිපියේ ‘The manuscript is currently preserved at the Sri Lanka National Archives at our request and is maintained as a museum item. The Library does not possess any duplicate or additional copy of this manuscript.’ හෙවත් ‘මෙම අත්පිටපත දැනට අපගේ ඉල්ලීම පරිදි ශ්රී ලංකා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කෞතුකාගාර භාණ්ඩයක් ලෙස සුරක්ෂිතව පවත්වාගෙන යනු ලැබේ. පුස්තකාලය සතුව මෙම ග්රන්ථයට අදාළ වෙනත් පිටපතක් හෝ අතිරේක පිටපතක් නොමැත.’ ලෙස සටහන් කොට තිබේ.
මේ පිළිබඳව අප කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එම නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණේ එබඳු පුස්කොළ ග්රන්ථයක් ඔවුන් වෙත පේරාදෙණිය විශ්වවිද්යාලයීය පුස්තකාලය මඟින් ලැබී නැති බවයි. එසේම ‘The manuscript is in a fragile and decaying condition. We have therefore requested the National Archives to undertake further preservation, and we are planning to create a digital copy during the conservation process.’ හෙවත් ‘මෙම අත්පිටපත බිඳෙනසුලු හා දිරාපත් වෙමින් පවතින තත්ත්වයක පවතී. එම නිසා, වැඩිදුර සංරක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අප ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම සංරක්ෂණ ක්රියාවලිය අතරතුර මෙහි ඩිජිටල් පිටපතක් නිර්මාණය කිරීමට ද සැලසුම් කරමින් සිටිමු.’ ලෙස ද එහි වැඩිදුරටත් සටහන් කොට තිබේ.
කෙසේවෙතත් අප කළ විමසුම අනුව මෙම පුස්කොළ ග්රන්ථය තවමත් සංරක්ෂණ කටයුතු සඳහා හෝ කෞතුක වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමට හෝ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැත. නමුත් එය ලබා දුන් බව පුස්තකාලාධිපතිතුමා ඉහත ලිපියේ සඳහන් කරයි. එසේ නම් එය තිබෙන්නේ කොතැන ද? මෙය දුර්ලභ ශ්රී ලාංකේය උරුමයක් රැක ගැනීම හා එය නිසිපරිදි අනාගත පරපුරට ආරක්ෂා කොට දීම පිළිබඳ සංවේදී ගැටළුවකි. යම් අයුරකින් එය මෙතෙක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දී නොමැති නම් පැරණි ලේඛන සංරක්ෂණය කිරීම පිළිබඳ ජාතික වගකීම දරණ ඔවුන් වෙත එම දුර්ලභ පුස්කොළ ග්රන්ථය ලබා දීමට ඉක්මණින්ම කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා කුමන හෝ සහයෝගයක් අවශ්ය නම් එය සලසා දීමට අප සූදානම්ය.
පේරාදෙණිය විශ්වවිද්යාලයීය පුස්තකාලය සතු මෙම පුස්කොළ ග්රන්ථය විසුද්ධිමග්ගටීකාවයි (Acce-ssion No. 276985). මෙය ඩබ්.එෆ්. ගුණවර්ධන වාසලමුදලිතුමාගේ එකතුවේ තිබී එතුමාගේ ඇවෑමෙන් එතුමාගේ භාර්යාව වූ ඇග්නස් ජයසූරිය විසින් පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත පරිත්යාග කරන ලද්දකි. එහි කලෙක පුස්තකාලාධිපතිව සිටි කේ.ඩී. සෝමදාස මහතා මෙම ග්රන්ථය පිළිබඳ පී.ඊ.ඊ. ප්රනාන්දු මහාචාර්යතුමාට දැන්වූ අතර ඒ අනුව එය පරීක්ෂා කර බලා එතුමා 1982 දී ඒ පිළිබඳ ලියූ සටහනක ‘The codex contains one hundred folios of which a large number has been attacked by white ants.’ හෙවත් ‘පත්රිකා (Folios) සියයකින් සමන්විත මෙම පැරණි ග්රන්ථයේ පත්රිකා විශාල සංඛ්යාවක් වේයන්ගෙන් හානියට ලක්ව ඇත.’ ලෙස සටහන් කොට තිබේ.
ඒ අනුව මීට වසර 44කට පෙර ද එය තිබී ඇත්තේ කඩිනමින් සංරක්ෂණය කළ යුතු තත්ත්වයකය. පී.ඊ.ඊ. ප්රනාන්දු මහාචාර්යතුමාට අනුව මෙම විසුද්ධිමග්ගටීකාව ද බ්රිතාන්ය පුස්තකාලයේ ඇති සාරත්ථදීපනී ටීකාවේ ප්රථම භාගය ද අයත්ව තිබී ඇත්තේ දඹදෙණි යුගයේ වැඩසිටි බවට සැලකෙන සීලවංස තෙරුන් වහන්සේටය. එය එසේ නම්, මෙම ග්රන්ථ ද්විත්වයම දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති චුල්ලවග්ගපාලි පුස්කොළ ග්රන්ථයට බොහෝදුරට සමකාලීනව එනම්, දඹදෙණි යුගයේ ලියැවුණ ඒවාය. මෙහි ඇති ජාතික වැදගත්කම සලකා මේ වනතුරු මෙම ග්රන්ථය සංරක්ෂණ කටයුතු සඳහා සහ එය විනාශ වී යෑමට පෙර පවතින තත්ත්වයෙන් හෝ ඩිජිටල් පිටපත් කිරීම සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබා දී නොමැති නම් ඒ සඳහා කඩිනම්ව කටයුතු සම්පාදනය කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්යාලයේ පුස්තකාලාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කඩිනමින් එසේ නොකළහොත් මෙම පුස්කොළ ග්රන්ථය තිබෙන තැනක දීම දිරාගොස් විනාශ වී යනු ඇත.
තමන් සතු එකතූන් අධ්යයනය කිරීමට හැකිතාක් විද්යාර්ථීන් උනන්දු කිරීම උරුමය පිළිබඳ කටයුතු කරන සියලු ආයතනවල වගකීමකි. එම එකතූන් යළි පණ ලබන්නේ එවිටය. එහිලා කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්යක්ෂතුමිය, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමිය සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපතිතුමා අධ්යයන ද්රව්ය ලබාගැනීම්වල දී නොපැකිලව දක්වන සහාය කෘතවේදීව සිහිපත් කරමි. මෙම කරුණ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්යාලයේ උපකුලපතිතුමාගේ කාරුණික අවධානය කඩිනමින් යොමුවනු ඇතැයි අපේක්ෂා කරමි.
ශ්රී සම්බුද්ධ ලලාට ධාතූන් වහන්සේගේ ආශීර්වාදය සැලසේවා!
මේ වගට,
අලුදෙණියේ සුබෝධි මහස්ථවිර,
විහාරාධිපති – සේරුවිල මංගල රාජමහා විහාරය.
2026-04-18 දින එක්සත් රාජධානියේ දී ය.
ඡායාරූපය – බ්රිතාන්ය පුස්තකාලයේ සාරත්ථදීපනී විනය ටීකාවේ ප්රථම භාගය පුස්කොළ ග්රන්ථය පිටපත් කිරීම


