යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික තරගකාරීත්වය, විදේශීය ආයෝජක විශ්වාසය මෙන්ම යුරෝපා සංගමයේ ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අඛණ්ඩව රඳවා ගැනීම තහවුරු කිරීම උදෙසා, රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ ඉතා සුපරීක්ෂාකාරීව නැවත සමාලෝචනය කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) රජයෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් වාණිජ මණ්ඩලය සඳහන් කරන්නේ, යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම නිරීක්ෂණ මේ වන විටත් අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. එසේම සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත පිළිබඳ සිය ස්ථාවරය මේ වන විට අවසන් අදියරේ පවතින බවත්, එයද කඩිනමින් රජයට භාරදීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ මතුවන නව අභියෝගයන්ට මුහුණදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කරන අතරම, මෙවැනි නව නීති සම්පාදනය කිරීමේදී පැහැදිලි නිර්වචන, විධිමත් අධිකරණ අධීක්ෂණයක් සහ නීතියේ නිසි ක්‍රියාපටිපාටිය (Due Process) ආරක්ෂා වන බවට තහවුරු කිරීම අතිශය අත්‍යවශ්‍ය කරුණක් බව වාණිජ මණ්ඩලය අවධාරණය කරයි.

ආයෝජක විශ්වාසය සහ ජාත්‍යන්තර කීර්තිය

අන්තර්ජාතික වෙළෙඳාම සහ ආයෝජන සඳහා නීතියේ ආධිපත්‍යය සුරැකෙන, පුරෝකථනය කළ හැකි සහ නීත්‍යානුකූල ස්ථාවරත්වයක් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාවේ පවතින කීර්තිනාමය ආරක්ෂා කරගැනීමටත්, විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය රඳවා ගැනීමටත් මෙවැනි ආරක්ෂණ ක්‍රමවේද අත්‍යවශ්‍ය වන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙරට අපනයන ක්ෂේත්‍රය, රැකියා උත්පාදනය, විදේශ විනිමය ඉපැයීම මෙන්ම සමස්ත ආර්ථික වර්ධනයට සුවිශේෂී ශක්තියක් සපයන යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය අහිමි නොවී ආරක්ෂා කරගැනීමේ ඇති තීරණාත්මක වැදගත්කම මෙහිදී සිහිපත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති GSP+ වෙළෙඳ ප්‍රතිලාභ අනාගතයේදීත් සුරක්ෂිත කරගැනීම සඳහා, සම්මත කරනු ලබන නව නීති ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ලබාදී ඇති එකඟතාවන්ට සහ පිළිගත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සකස් කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් තරයේ ඉල්ලා සිටියි.

රටේ ජාතික ප්‍රමුඛතා සුරක්ෂිත කරන අතරම, තිරසාර ආර්ථික වර්ධනය සහ තරගකාරිත්වය පවත්වාගෙන යා හැකි අයුරින් නීති ප්‍රතිසංස්කරණ සිදුකිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව හා ඵලදායීව සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බවද ලංකා වාණිජ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *