වෛරසය

ලෝක ජනගහනයෙන් 60%කට වෛරසය වැළඳීමේ අවදානමක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 60 කට නව කොරෝනා වෛරසය වැළදීමේ අවදානමක් ඇති බව හොංකොං රාජ්‍යයේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානියා වන මහාචාර්ය ගේබ්‍රියල් ලියුන් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියි.

කොරෝනා වෛරසය වැලදීමෙන් මියගිය සංඛ්‍යාව රෝගයට ගොදුරුවී ඇති පිරිස හා සැසඳීමේදී සියයට එකක අගයක් සේ පෙනුනත් මින් ඇතිවිය හැකි තත්ත්වය ඉතා බරපතළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම වෛරසය අයිස් කන්දකට සමාන කරන ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ස්වභාවය ජලයෙන් මතුපිට පෙනෙන කොටස පමණක් වන නමුත් නොපෙනෙන කොටස භයංකාර බවයි.

මෙම වෛරසය නොනවතින රැල්ලක් මෙන් ලොවපුරා පැතිරී යා හැකිය බව මහාචාර්යවරයා අන්තුරු අගවද්දී විදෙස් පුවත් වාර්තා කර තිබුණේ බ්‍රිතාන්‍යයේ හදවත බදුවූ ලන්ඩන් නුවරින්ද කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ඉන්දුනීසියාවේ බාලි දූපතෙන්ද එක් ආසාදිතයෙක් වාර්තා වී ඇත්තේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයම දැඩි කැලඹීමට පත්කරමින්.

මේ අතර ජපානයේ යොකොහෝමා වරායේ නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ තවත් පුද්ගලයින් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අතර ඒ අනුව නෞකාවේ සිට මෙතෙක් හමුවූ ආසාදිතයින් මුළු ගණන 219 ක්.

වෛරසය හේතුවෙන් මියගිය ගණන අද වනවිට 1357ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ලොව පුරා ආසාදිතයින් ගණන 60 000 ද ඉක්මවමින්.

Leave a Reply

Your email address will not be published.