ඊශ්‍රායල ඡන්ද සටනේ පෙරමුණ නෙතන්යාහු අතට: ආසන 55ක් ලැබුණත් බහුතරය තවමත් අවිනිශ්චිතයි

ඊශ්‍රායල මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දේශපාලන සන්ධානය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය ‘ද ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ (The Times of Israel) වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ, සාමාජිකයන් 120කින් සමන්විත ඊශ්‍රායල ‘නෙසට්’ (Knesset) පාර්ලිමේන්තුවේ ආසන 55ක් නෙතන්යාහුගේ සන්ධානය වෙත හිමිවනු ඇති බවයි. ප්‍රධාන විපක්ෂය ආසන 49ක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, අරාබි නායකත්වයෙන් යුත් සන්ධානවලට හිමිවනු ඇතැයි පුරෝකථනය කර ඇති ආසන සංඛ්‍යාව 16කි.

ඊශ්‍රායල මධ්‍යම මැතිවරණ කමිටුවේ නවතම දත්ත අනුව මේ වන විට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 56ක්, එනම් ඡන්ද මිලියන 2.8ක් පමණ ගණන් කර අවසන්ව ඇත.

පක්ෂ මට්ටමේ බල අරගලය

තනි පක්ෂයක් ලෙස ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව, සියයට 20.7ක ඡන්ද ප්‍රතිශතයක් රඳවා ගනිමින් නෙතන්යාහුගේ ‘ලිකුඩ්’ (Likud) පක්ෂය පෙරමුණේ රැඳී සිටියි. හිටපු හමුදාපති ගාඩි අයිසෙන්කොට්ගේ (Gadi Eisenkot) නායකත්වයෙන් යුත් ‘යාෂාර්’ (Yashar) පක්ෂය සියයට 16.7ක් ලබාගනිමින් දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, හිටපු අගමැති නෆ්තාලි බෙනට්ගේ (Naftali Bennett) ‘ටුගෙදර්’ (Together) සන්ධානය සියයට 9ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව තෙවැනි ස්ථානයේ පසුවේ.

බහුතර බලය පිළිබඳ ගැටලුව සහ සභාග සාකච්ඡා

නෙතන්යාහුගේ සන්ධානය ඡන්ද ගණනය කිරීමේදී ඉදිරියෙන් සිටියද, පාර්ලිමේන්තුවේ සරල බහුතරය හිමිකරගෙන ස්ථාවර රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන 61 සම්පූර්ණ කර ගැනීමට තවත් ආසන 6ක් අඩු පාඩුව පවතී. ඒ අනුව ඉදිරි ඊශ්‍රායල ආණ්ඩුවක් බිහිකිරීමේදී සෙසු කුඩා පක්ෂ සමඟ සිදුකෙරෙන සභාග සාකච්ඡා අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ නෙතන්යාහුගේ දේශපාලන නායකත්වය, ගාසා තීරයේ යුද්ධය, කලාපීය ආරක්ෂාව මෙන්ම 2023 ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් පාලනාධිකාරිය වගවිය යුතු බවට රට තුළින් එල්ල වන දැඩි දේශපාලන බෙදීම් සහ මහජන පීඩනය හමුවේය.

මැතිවරණ නිලධාරීන් විසින් තවදුරටත් ඡන්ද ගණනය කිරීම් සිදුකරන බැවින් ඉදිරියේදී මෙම ආසන සංඛ්‍යාවල වෙනස්කම් සිදුවිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *