අමෙරිකාව සතුව ඇති මිසයිල සංචිත අඩුවෙමින් පවතින බවට ලැබුණු අනතුරු ඇඟවීම් හමුවේ ඉරානයට එරෙහි යුද මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමේ සැලසුම් තාවකාලිකව නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
සති දෙකකට ආසන්න කාලයකට පසු පළමු වරට, පසුගිය සති අන්තයේදී ඉරානයට එරෙහි ප්‍රහාර අත්හිටුවීමට ට්‍රම්ප් තීරණය කළ අතර, විශාල පරිමාණයේ යුද මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ සැලසුම්ද පසෙකට දමා තිබේ.
මෙම තීරණය ඉරානය සමඟ සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබාදෙන බවද වාර්තා වේ.
වයිට් හවුස්හි පැවති සිකුරාදා රාත්‍රී සාකච්ඡාවකදී මෙම කරුණු පිළිබඳ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවේදී සිය අදහස් ඉදිරිපත් කර ඇති බව “නිව්යෝර්ක් ටයිම්ස්” වාර්තා කළේය.
ඇමෙරිකානු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිලධාරීන් සඳහන් කර ඇත්තේ, ඉරාන බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු කඳවුරු හා කලාපීය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ගුවන් ආරක්ෂක අන්තර්ග්‍රාහක මිසයිල ඇතුළු ආයුධ සංචිත අඩුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුවක් වූ බවයි.
පසුගිය සිකුරාදා ජෝර්දානයේදී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් වැළැක්වීමට යොදා තිබූ ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධතියක් හරහා මිසයිලයක් ඇතුළුවීමෙන් ඇමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මිය ගියහ.
තවත් ඇමෙරිකානු සෙබළෙකු ඉරාන ඩ්‍රෝනයක් ආරක්ෂිත කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ඉරාකයේදී මිය ගොස් තිබේ.
ඉරානයට එරෙහිව රාත්‍රී 13ක් අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රීවල තවත් ප්‍රහාර එල්ල නොකරන ලෙස ට්‍රම්ප් නියෝග කළේය.
ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලාශ්‍රයක් CNN වෙත පවසා ඇත්තේ මෙහෙයුම් “තාවකාලිකව නතර කර ඇති” බවයි.
මෙම විරාමය සිදුවූයේ ට්‍රම්ප් ඉරානය සාකච්ඡා සඳහා සූදානම් විය හැකි බවට සංඥා කිරීමත් සමඟය. කෙසේ වෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පාලනය තබා ගැනීමේ ඉල්ලීමෙන් ඉරානය තවමත් පසුබැස නැත.
ඉරිදා දිනයේදී ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඕමානයේ මැදිහත්වීම හරහා දෙපාර්ශ්වය අතර තාක්ෂණික සහ දේශපාලන සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ සාකච්ඡා ඵලදායී වූ බවද ඉරානය සඳහන් කළේය.
කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා පමණක් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ ඉරානයට එරෙහි “විශාලතම ප්‍රහාරයකට” තමන් සලකා බලමින් සිටින බවයි.
“මෙය මීට පෙර කිසිවකට වඩා විශාල ප්‍රහාරයක් විය හැකිය. තීරණයක් ගැනීමට මම ආසන්නයි. අපි ඒ සඳහා සූදානම්,” යනුවෙන් ඔහු පැවසීය.
යුද තත්ත්වය උත්සන්න වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් පෙන්ටගනය පසුගිය දිනවල මැද පෙරදිගට අමතර හමුදා, අවි සහ සැපයුම් යැවීමට පියවර ගෙන තිබුණි.
එහෙත් සිකුරාදා පැවති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයාගේ යුද සැලසුම් සීමා වී තිබේ.
මෙහෙයුම් ආරම්භ වූ දා සිට ඇමෙරිකාව සිවිල් ජනතාව භාවිත කරන නමුත් ඉරාන හමුදා සැපයුම් දකුණු වෙරළ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට උපකාරී වන දුම්රිය පාලම් ඇතුළු යටිතල පහසුකම්වලට හානි සිදුකර ඇත.
එමෙන්ම එවැනි ඉලක්ක, බලශක්ති පහසුකම් සහ පික්ඒක් මවුන්ටන් ඇතුළු ඉරාන න්‍යෂ්ටික ස්ථානවලට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සලකා බලමින් පවතින බව නිලධාරීන් “නිව්යෝර්ක් ටයිම්ස්” වෙත පවසා ඇත.
සාකච්ඡා අසාර්ථක වුවහොත් හෝ ඉරානය තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් හමුදා විකල්ප තවමත් විවෘතව පවතින බව ඇමෙරිකානු නිලධාරීන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, මාස පහක ගැටුමකින් පසු වයිට් හවුස් විසින් තත්ත්වය සමනය කිරීමේ මාර්ගයක් සොයමින් සිටින බවට මෙය පැහැදිලිම සංඥාවක් ලෙස සැලකේ.
එමෙන්ම, දිගුකාලීන කලාපීය යුද්ධයකට ඇමෙරිකාව ඇදී යාමේ හැකියාව පිළිබඳව ට්‍රම්ප්ගේ සමීප උපදේශකයන් අතරද කනස්සල්ල වැඩිවෙමින් පවතී.
CNN වාර්තා කළේ, යුද්ධය පුළුල් කිරීමේ උපායමාර්ගික හා දේශපාලන වියදම් පිළිබඳව ජනාධිපතිවරයාගේ සමීප උපදේශකයන් අවධානය යොමු කර ඇති බවයි. විශේෂයෙන්ම ඇමෙරිකානු හමුදා සම්පත් මත ඇති පීඩනය, සිදුවන ජීවිත හානි සහ තවත් ප්‍රහාර මගින් ඉරානයේ හැසිරීම මූලික වශයෙන් වෙනස් කළ හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිතතාව ඔවුන්ගේ අවධානයට ලක්ව ඇත.


