වාහන ආදායම් බලපත්ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්රාදේශීය ලේකම්වරුන්ට චක්රලේඛයක්

ශ්රී ලංකාව පුරා මෝටර් රථ වාහන ආදායම් බලපත්ර (Revenue Licences) ලබාගැනීම සහ අලුත් කිරීම සඳහා අද, එනම් 2026 නොවැම්බර් මස 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක’ (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.
මෙම ජාතික නීතිමය අවශ්යතාව බිම් මට්ටමින් ක්රියාත්මක කිරීම පිළිබඳව සවිස්තරාත්මක උපදෙස් මාලාවක් ඇතුළත් විශේෂ චක්රලේඛයක් බස්නාහිර පළාත් මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයා විසින් පළාතේ සියලුම ප්රාදේශීය ලේකම්වරුන් වෙත යොමුකර ඇත.
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ප්රකාරව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පසුගිය සැප්තැම්බර් 22 වැනි දින නිකුත් කරන ලද ‘SEC/2026/E/07’ දරන චක්රලේඛයට අනුව මෙම දීපව්යාප්ත නීතිය ක්රියාත්මක වේ.
ආදායම් බලපත්ර ලබාගැනීමේදී අනුගමනය කළ යුතු නව නීති:
බස්නාහිර පළාත් චක්රලේඛයට අනුව, වාහන ආදායම් බලපත්ර ලබාගැනීමේදී පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය:
- මුල් ලියාපදිංචි සහතිකය (CR පොත) ඉදිරිපත් කරන විට: වාහනයේ ලියාපදිංචි මුල් හිමිකරු සිය වලංගු TIN සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
- හිමිකම් පැවරීම් ක්රියාවලියක පවතින වාහන සඳහා: ‘MTA 11’ සහ ‘CMT 52’ ආකෘති පත්ර ඉදිරිපත් කර ආදායම් බලපත්ර අයදුම් කරන්නේ නම්, CMT 52 ආකෘති පත්රයේ නම සඳහන් නව හිමිකරුගේ TIN සහතිකය ඉදිරිපත් කළ යුතුය.
- පිළිගන්නා ලේඛන වර්ග: TIN සහතිකයේ මුද්රිත පිටපත් (Hard copies) මෙන්ම තිර ඡායාරූප (Screen printouts) ඇතුළු විද්යුත් පිටපත්ද (Electronic copies) නිලධාරීන් විසින් පිළිගත යුතු අතර, අයදුම්කරුවන් ඉදිරිපත් කරන TIN තොරතුරු නිල වශයෙන් ලේඛනගත කළ යුතුය.
TIN සහතිකය ඉදිරිපත් කිරීමෙන් නිදහස් කර ඇති කාණ්ඩ:
කෙසේවෙතත්, පහත සඳහන් පුද්ගලයින් සහ පාර්ශ්වයන් ආදායම් බලපත්ර ලබාගැනීමේදී TIN සහතිකය ඉදිරිපත් කිරීමෙන් නිදහස් කර තිබේ:
- වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්.
- ශ්රී ලංකාව තුළ දින 183කට වඩා අඩු කාලයක් රැඳී සිටින නේවාසික නොවන විදේශිකයන්.
- TIN ලියාපදිංචිය සඳහා අයදුම් කර එය ප්රතික්ෂේප වූ බවට තහවුරු කළ හැකි පුද්ගලයින්.
- රාජ්යතාන්ත්රික වරප්රසාද හිමි විදේශීය දූත මණ්ඩල නිලධාරීන්.
- තනි පුද්ගල නොවන වෙනත් නීතිමය ආයතන (Entities other than individuals).
බස්නාහිර පළාත කේන්ද්ර කරගනිමින් නිකුත් කර ඇති මෙම සවිස්තරාත්මක උපදෙස් මාලාව හරහා, ආදායම් බලපත්රවලට අමතරව බැංකු ගිණුම් විවෘත කිරීම, ඉඩම් හා ව්යාපාර ලියාපදිංචිය මෙන්ම නව වාහන ලියාපදිංචිය වැනි සේවාවන් සඳහා ජාතික මට්ටමින් TIN අනිවාර්ය කිරීමේ ක්රියාවලිය වඩාත් පැහැදිලිව ක්රියාවට නැංවෙනු ඇත.


