“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්

පසුගිය ඔක්තෝබර් 31 වැනිදා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට (HIP) එල්ල වූ අකුණු සැර ප්‍රහාරයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නෙන් බරපතළ හානි සිදුව ඇත්තේ එක් වාහනයකට පමණක් බවත්, තවත් වාහන තුනකට සුළු හානි සිදුව ඇති බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පාලනාධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.
ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ වරායේ වාහන අංගනයක හටගත් මෙම ගින්නෙන් ආනයනය කරන ලද වාහන විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවට මීට පෙර පළවූ මාධ්‍ය වාර්තා නිවැරදි කරමින් වරාය පාලනාධිකාරිය මෙම විශේෂ ප්‍රකාශය සිදුකර තිබේ.
වරාය බලධාරීන් සඳහන් කරන්නේ, අකුණු සැර වැදීමත් සමඟ ගින්න හටගත් වහාම වරායේ හදිසි ආපදා ප්‍රතිචාර ඒකකය (Emergency Response Unit – ERU) ක්ෂණිකව ක්‍රියාත්මක වී, අවට නවතා තිබූ සෙසු වාහන වෙත ගිනිදැල් පැතිර යාමට පෙර එය සම්පූර්ණයෙන්ම නිවා දැමීමට සමත් වූ බවයි.
“විශාල හානියක් සිදුවූ බවට පළවූ වාර්තා අසත්‍යයි”
“සිදුවූ හානිය පිළිබඳව අතිශයෝක්තියෙන් යුතුව පළවන ඇතැම් වාර්තාවලට පටහැනිව, මෙම සිදුවීමෙන් බරපතළ ලෙස හානි සිදුවූයේ එක් වාහනයකට පමණි. තවත් වාහන තුනකට සිදුව ඇත්තේ සුළු හානි පමණක් බව අපි තහවුරු කරනවා,” යනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
වරාය හදිසි මෙහෙයුම් කණ්ඩායමේ කඩිනම් සහ කාර්යක්ෂම මැදිහත්වීම හේතුවෙන් ගින්න ක්ෂණිකව පාලනය කරගැනීමට හැකිවූ අතර, ඒ අසල තිබූ අනෙකුත් භාණ්ඩ තොග ආරක්ෂා කරගනිමින් සිදුවිය හැකිව තිබූ දැවැන්ත මූල්‍ය හා දේපළ හානිය අවම කරගැනීමට හැකිවූ බවද වරාය පාලනාධිකාරිය පෙන්වා දෙයි.
මෙවැනි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා තම හදිසි ආපදා ප්‍රතිචාර කණ්ඩායම් ඉහළ මට්ටමේ වෘත්තීය පුහුණුවකින් යුක්ත වන බවත්, අතීතයේදී අවට ප්‍රජාවන් මුහුණදුන් ගිනි ආපදා අවස්ථාවලදී පවා ඔවුන් පෙරමුණ ගෙන සහන සලසා ඇති බවත් වරාය බලධාරීහු වැඩිදුරටත් සිහිපත් කරති.
මෙම නිල පැහැදිලි කිරීමත් සමඟ, අදාළ අකුණු අනතුරින් සමස්තයක් ලෙස බලපෑමට ලක්ව ඇත්තේ වාහන හතරක් (04) පමණක් බවත්, ඉන් බරපතළ හානි සිදුව ඇත්තේ එක් වාහනයකට පමණක් බවත් නිල වශයෙන් තහවුරු වේ.
