TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයි

ප්‍රධාන ගනුදෙනු රැසක් සඳහා ‘බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක’ (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි බලාත්මක වීමත් සමඟ, TIN සහතික ලබාගැනීම සඳහා දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) කාර්යාල ඉදිරිපිට දැඩි තදබදයක් සහ දිගු පෝලිම් වාර්තා වන බව වාර්තා වේ.
මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාර්ගගත ලියාපදිංචි කිරීමේ වෙබ් අඩවියට (Online system) පිවිසීමේදී දැඩි අපහසුතා මතුව ඇති බවට මහජනතාවගෙන් මැසිවිලි රැසක් එල්ල වී තිබේ. අයදුම්පත් යොමුකිරීමේ ඉහළ ඉල්ලුම හමුවේ වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, ප්‍රමාදයන් සහ පද්ධතියේ බිඳවැටීම් සිදුවන බව පරිශීලකයෝ පෙන්වා දෙති.
මූල්‍ය, වාණිජ සහ පරිපාලනමය වශයෙන් අතිශය වැදගත් ප්‍රධාන ගනුදෙනු වර්ග අටක් (08) සඳහා 2026 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි TIN සහතිකය අනිවාර්ය කිරීමට රජය පියවර ගැනීම මෙම දැවැන්ත තදබදයට මූලික හේතුව වී ඇත.
TIN සහතිකය අනිවාර්ය කර ඇති ගනුදෙනු 8 මෙන්න:
බැංකු හෝ වෙනත් මූල්‍ය ආයතනවල නව ගිණුම් විවෘත කිරීම.
ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම.
මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීම.
වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම.
ඉඩම් හෝ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම.
නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම.
ශ්‍රී ලංකාවේ සමාගම්වල කොටස් පැවරීම.
ණයපත් (Credit Cards) ලබාගැනීම.
2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යටතේ මෙම නීතිමය කොන්දේසි පනවා ඇති අතර, ඉහත ගනුදෙනු සිදුකිරීමට පෙර අයදුම්කරුවන්ගේ TIN තොරතුරු නිවැරදිව පරීක්ෂා කර තහවුරු කරගන්නා ලෙස අදාළ සියලුම ආයතන වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ.
“TIN එකක් ගත්තට බදු ගෙවන්න ඕනෙ නෑ” – දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
මේ අතර, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම මෙරට නේවාසික පුරවැසියන්ට TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, හුදෙක් TIN අංකයක් ලබාගත් පමණින් යමෙකු ආදායම් බදු ගෙවීමට බැඳී නොසිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ පැහැදිලි කිරීමක් කරමින් අවධාරණය කරයි.
සාමාන්‍යයෙන් පුද්ගල ආදායම් බදු (Personal Income Tax) අයවනු ලබන්නේ, යම් පුද්ගලයෙකුගේ වාර්ෂික බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 1.8 (රුපියල් ලක්ෂ 18) සීමාව ඉක්මවන්නේ නම් පමණක් බව දෙපාර්තමේන්තුව සිහිපත් කරයි.
මහජනතාවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk ඔස්සේ මාර්ගගතව TIN අංකය සඳහා ලියාපදිංචි විය හැකිය. කෙසේවෙතත්, වෙබ් අඩවියේ පවතින තාක්ෂණික බාධාවන් අයදුම්කරුවන්ගේ සීග්‍ර වැඩිවීම නිසා සිදුවූවක්ද යන්න පිළිබඳව දෙපාර්තමේන්තුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.
