කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 29 දින සිට ලබාදීමට කටයුතු සැලසුම්කර තිබුණ ද, එම එන්නත්කරණ වැඩසටහන 29 දින ක්‍රියාත්මක නොවන බවත් ඉදිරියේදී ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
පළමු මාත්‍රාව ලබාගත් බන්ධනාගාර නිලධාරීන් 5153 දෙනෙකු සඳහා මෙවර එම එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත අතර බන්ධනාගාරයන් තුළ කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් මෙම එන්නතෙහි දෙවන මාත්‍රාව එම රාජකාරීන් වල නිරතවන නිලධාරීන් හට කඩිනමින් ලබාදීමට තීරණය කර ඇත.
මෙම එන්නත්කරණ වැඩසටහන කොළඹ බන්ධනාගාර පරීශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර තිබූ අතර එය බන්ධනාගාර මූලස්ථාන, වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය ඇතුළුව කළුතර, කුරුවිට, මීගමුව, පල්ලන්සේන, වටරැක හා අඹේපුස්ස යන බන්ධනාගාර වල රාජකාරියෙහි නිරත නිලධාරීන් හට ලබා දීමට නියමිතව තිබුණි.
චන්දන ඒකනායක මහතා තවදුරටත් පැවසූවේ මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ මැයි මස 03 හා 04 යන දෙදින තුළ පැරණි බෝගම්බර හා දුම්බර බන්ධනාගාරයේත්, පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේත් රාජකාරී කටයුතු සිදු කරන නිලධාරීන්ටත්, මැයි මස 07 සහ 08 යන දෙදින තුළ අඟුණුකොළපැලැස්ස, ගාල්ල, මාතර හා වීරවිල බන්ධනාගාර වල සේවයෙහි නියුතු නිලධාරීන්ටත් ලබා දීමට සැලසුම් කර තිබුණද ඒ පිළිබඳව ද ඉදිරියේදී දැනුම් දෙන බවයි.