ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන්

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා සංවිධායකවරු 50 කගේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ  දිස්ත්‍රික් හා ආසන සංවිධායකයන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට පසුගිය දා (15දා) ඉදිරිපත් වූහ.

කොළඹ නව නගර ශාලාවේ අද දහවල් කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුහු සිය තීරණය දැනුම් දුන්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක බන්දුල සපරමාදු, මාවනැල්ල සංවිධායක අබ්දුල් ලතීෆ්, මාවනැල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකු, අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු, මඩකලපුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මීට අමතරව අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රවි කරුණානායක, රවින්ද්‍ර සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා දේශපාලන පක්‍ෂ කිහිපයක්ද අද (15දා) එක්විය.

කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි එම පක්‍ෂවල නායකයෝ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට කැපවෙන බවට ප්‍රතිඥාවක් ලබාදුන්හ.

ලංකා ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා තෙළිඟු කොංග්‍රස් පක්‍ෂය, ජාතික ජනතා පෙරමුණ, ජාතික කඳුරට පෙරමුණ, අපේ පරපුර පක්‍ෂය, අපේ ජනතා පක්‍ෂය යන දේශපාලන පක්‍ෂ මෙලෙස එක්විය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පුත්තලම ආසන සංවිධායක, පොල් සංවර්ධන හා වතු සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගල්ලාගම යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා පැමිණ සිටියහ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණය මෙහෙයුම් ප්‍රධානී එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා එහිදී සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සංවිධායකයන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ, සංවිධාන ගණනාවක් එක්ව සිටින බවයි.

එවැනි කණ්ඩායම් සමග දිනපතා සාකච්ඡා පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේදී දේශපාලන පක්‍ෂ 08ක් එක්වූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්ක නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ඊරෝස් සංවිධානය ඇතුළු නැගෙනහිර පළාතේ දේශපාලන පක්‍ෂවල සාමාජිකයක් පිරිසක් සහාය පළ කිරීමට එක්වූ බවද අත්තනායක මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ප්‍රචාරක රැලි ප්‍රමාණයක් පැවැත්වූ දේශපාලන ව්‍යාපාරය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

ada

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *