ණය ලබාගන්නා ජනතාව අධික පොලී අනුපාතවලින් ආරක්ෂා කිරීම සහ ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා ක්ෂුද්ර මූල්ය හා ණය නියාමන අධිකාරී පනත කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ආර්ථික සංවර්ධනය සහ ජාත්යන්තර සබඳතා පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී ලක්මාලි හේමචන්ද්ර මහත්මියගේ සභාපතිත්වයෙන් පැවති කාරක සභා රැස්වීමකදී ශ්රී ලංකා ක්ෂුද්ර මූල්ය වෘත්තිකයන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තුව සඳහන් කළේ, විධිමත් නොවන ක්රමවේද භාවිත කරමින් අධික පොලී අනුපාත අය කරන ණය දෙන ආයතන හේතුවෙන් මහජනතාවට මුහුණ දීමට සිදුවන මූල්ය දුෂ්කරතා පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු වූ බවයි.
නිසි ලෙස ක්රියාත්මක වන ක්ෂුද්ර මූල්ය ආයතනවලට සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ සලසන අතරම සාධාරණ නියාමන රාමුවක් ස්ථාපිත කිරීමේ වැදගත්කම කාරක සභාව අවධාරණය කර තිබේ.
බලපත්ර ලබාගැනීමේ ක්රියාපටිපාටි සරල කිරීම, නියාමනයට යටත් ක්ෂුද්ර මූල්ය ආයතනවලට අධීක්ෂණය යටතේ සීමිත මහජන තැන්පතු භාරගැනීමට අවසර දීම සහ අඩු පිරිවැයකින් අරමුදල් ලබාගැනීමේ අවස්ථා සැලසීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
ණය පොලී අනුපාත අඩු කිරීමට සහාය වන පරිදි ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්යන්තර ආයතනවලින් සහනදායී අරමුදල් ලබාගැනීමේ හැකියාවද මෙහිදී සලකා බලා තිබේ.
පාරිභෝගික ආරක්ෂණ ක්රියාමාර්ග, යෝජිත නියාමන අධිකාරිය පිහිටුවීම සහ ණය දෙන ආයතන බලපත්ර ලබාගත යුතු කාලසීමා පිළිබඳවද කාරක සභාව අවධානය යොමු කර ඇත.
මේ අතර, ශ්රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ ඛනිජ වැලි නිධි පිහිටි ග්රිඩ් 68ක පතල් කැණීමේ සුවිශේෂී අයිතිය තමන්ට ලබාදෙන ලෙස රාජ්ය සමාගමක් වන ලංකා ඛනිජ වැලි සමාගම (LMSL) කළ ඉල්ලීමක් සම්බන්ධයෙන්ද කාරක සභාව සාකච්ඡා කර තිබේ.
එම නිධි පෞද්ගලික ආයතන වෙත වෙන් නොකරන ලෙස ලංකා ඛනිජ වැලි සමාගම ඉල්ලා ඇත.
මීට පෙර නිකුත් කළ පතල් කැණීමේ බලපත්ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සහ අක්රමිකතා සිදුවූ බවට ඇති චෝදනාද කාරක සභාව සමාලෝචනය කර තිබේ. ඇතැම් අක්රමිකතා පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමු කර ඇති බවද එහිදී සඳහන් විය.
පතල් කැණීමේ අයිතීන් සහ ලංකා ඛනිජ වැලි සමාගමේ මෙහෙයුම් සඳහා සහාය ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කර ඇති අතර, ඉදිරියේදී පතල් කැණීමේ බලපත්ර අනුමත කිරීමේ ක්රියාවලියේ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ ක්රියාමාර්ගද සලකා බැලීමට නියමිතය.


