කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක

රෝසි කුණු කතාවක් කීවායි කියා හෙට කොළඹ කුණු අරුවක්කාලුවට බාර නොගනී

කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට(16) සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් සිදුකරමින් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා දි ඇත.

අරුවක්කාලු කසල අංගනය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස හඳුන්වමින් නගරාධිපතිනිය පසුගියදා පුවත්පතකට විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදුකර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.

කැලිකසල ගැටළුව විසඳිමට සිය අමාත්‍යංශය ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගත් බව පෙන්වාදෙන නිහාල් රූපසිංහ මහතා කෙරවලපිටිය කසල අංගනය වසා දැමිමෙන් පසුව කොළඹ කැලිකසල ගැටලුව විසඳීමට තිබූ එකම විසඳුම අරුවක්කාලු කසල අංගනය බව පවසයි.

එවන් තත්ත්වයක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යංශය දැඩි කනස්සල්ල පලකරන බව ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමක දී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටළුව පිළීබඳ  හෙට පෙරවරුවේ බලධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්විමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානානයක්කාර මහතාගෙන් ද අද දෙරණ මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.

අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිපිය මේ දක්වාත් තමන් වෙත ලැබි නොමැති බව එහිදී සඳහන් කළ නාගරික කොමසාරිස්වරයා පැවසුවේ කෙසේ හෝ මෙම ගැටළුව බලධාරීන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ada derana 

Leave a Reply

Your email address will not be published.