ශ්රීලන්කන් ගුවන් සේවය ලෙස පෙනී සිටින ව්යාජ ජංගම යෙදුම් සම්බන්ධයෙන් එම ගුවන් සේවය මගීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. නිල නොවන මූලාශ්රවලින් ජංගම යෙදුම් බාගත කිරීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා ඇත.
මහජනතාව වෙත නිකුත් කළ දැනුම්දීමකින් ජාතික ගුවන් සේවය සඳහන් කළේ, නිල නොවන වෙබ් අඩවි, සමාජ මාධ්ය සබැඳි, පණිවිඩ හුවමාරු වේදිකා හෝ තෙවන පාර්ශ්ව යෙදුම් වෙළෙඳසැල් හරහා ජංගම යෙදුම් බාගත නොකරන ලෙසයි.
WhatsApp, කෙටි පණිවිඩ (SMS), විද්යුත් තැපෑල හෝ සමාජ මාධ්ය පණිවිඩ හරහා බෙදාගන්නා සබැඳි ඔස්සේ ජංගම යෙදුම් බාගත කරන ලෙස ශ්රීලන්කන් ගුවන් සේවය කිසිවිටෙකත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා නොසිටින බව ද අවධාරණය කර තිබේ.
එමෙන්ම, එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP), බැංකු රහස් අංක (PIN), ක්රෙඩිට් කාඩ්පත් විස්තර හෝ වෙනත් මූල්ය තොරතුරු ද ගුවන් සේවය කිසිවිටෙකත් ඉල්ලා නොසිටින බව සඳහන් කර ඇත.
ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල ජංගම යෙදුම ලබාගත හැක්කේ Apple App Store සහ Google Play Store හරහා පමණක් බව මගීන්ට දැනුම් දී තිබේ.
යෙදුම බාගත කිරීමට හෝ යාවත්කාලීන කිරීමට පෙර එහි ප්රකාශකයා ලෙස “SriLankan Airlines Limited” යන නම සඳහන්ව තිබේදැයි තහවුරු කරගන්නා ලෙස ද ගුවන් සේවය උපදෙස් දී ඇත.
සියලුම නිල ප්රවර්ධන වැඩසටහන්, විශේෂ දීමනා සහ ඩිජිටල් සේවා ලබාගත හැක්කේ ශ්රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය වන www.srilankan.com, නිල ජංගම යෙදුම සහ සත්යාපනය කළ සමාජ මාධ්ය ගිණුම් හරහා පමණක් බව ද එම නිවේදනයේ දැක්වේ.
ගුවන් සේවය නියෝජනය කරන බව පවසමින් ක්රියාත්මක වන සැක සහිත යෙදුම් හමුවුවහොත් ඒවා ස්ථාපනය කිරීමෙන් හෝ පෞද්ගලික තොරතුරු හා ගෙවීම් සම්බන්ධ විස්තර ලබාදීමෙන් වළකින ලෙස මගීන්ට උපදෙස් දී තිබේ. එවැනි යෙදුම් පිළිබඳව ගුවන් සේවයේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස ද ඉල්ලා ඇත.




