කොළඹ බේරේ වැව යළි ප්රතිසංස්කරණය කිරීමට සහාය වීමේ අරමුණින් ආසියා පැසිෆික් ආපදා කළමනාකරණ සන්ධානයේ ශ්රී ලංකා ශාඛාව (A-PAD SL) සිය “පිරිසිදු ජල මාර්ග” වැඩසටහන යටතේ පළමු ක්රියාකාරකම ආරම්භ කර තිබේ.
ඔක්තෝබර් 8 වැනිදා ශ්රී උත්තරානන්ද මාවතේ පිහිටි බේරේ වැව තොටුපළේදී පැවති මෙම වැඩසටහනට ස්වේච්ඡා සේවකයන්, රාජ්ය ආයතන සහ හවුල්කාර සංවිධාන නියෝජිතයන් ඇතුළු 120කට අධික පිරිසක් සහභාගි වූහ.
බේරේ වැව ප්රතිසංස්කරණ කාර්ය සාධක බලකායේ වැඩසටහනක කොටසක් ලෙස සංවිධානය කළ මෙම ක්රියාකාරකම HSBC ශ්රී ලංකා සහ Clean Ocean Force Sri Lanka ආයතන සමඟ එක්ව ක්රියාත්මක කර තිබේ.
වැව අවට උපායමාර්ගික ස්ථානවල පරිසර දූෂණය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු ප්රදර්ශනය කිරීමෙන් වැඩසටහන ආරම්භ විය. අනතුරුව, කසළ එක්රැස්වීම සහ පරිසර දූෂණය සිදුවන ස්ථාන හඳුනාගැනීම සඳහා ස්වේච්ඡා සේවකයන්ගේ සහභාගිත්වයෙන් සිතියම්ගත කිරීමේ ක්රියාකාරකමක් පැවැත්විණි.
ශ්රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්යස්ථානය, විලාසිතා හා නිර්මාණ විද්යාලය, කොළඹ විශ්වවිද්යාලය සහ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය නියෝජනය කරමින් ස්වේච්ඡා සේවකයෝ මෙම ක්රියාකාරකමට එක්වූහ.
වැව ඉවුරු සහ ඒ අවට මාර්ගවල කසළ එක්රැස් වන ස්ථාන හඳුනාගත් ඔවුහු, ඇල්ගී වර්ධනය, දුර්ගන්ධය, ජලය වැවට ඇතුළුවන ස්ථාන, කසළ රඳවා තබන බාධක සහ වැඩිදියුණු කළ හැකි ප්රදේශ පිළිබඳ නිරීක්ෂණද සටහන් කළහ.
ගංගාරාම විහාරස්ථානය, ශ්රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, අධ්යාපන ආයතන, රාජ්ය නොවන සංවිධාන සහ බ්රිතාන්ය කවුන්සිලය නියෝජනය කරමින්ද පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූහ.
වැඩසටහනට සහාය වීම සඳහා A-PAD SL සෙවීම් හා ගලවාගැනීමේ කණ්ඩායමක්ද වැව තුළ යොදවා තිබිණි.
A-PAD SL ආයතනයට අනුව, “පිරිසිදු ජල මාර්ග” වැඩසටහනේ අරමුණ වන්නේ බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත්, වැව වැදගත් ප්රවාහන හා ආර්ථික මධ්යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ප්රවර්ධනය කිරීමත්ය.
එමෙන්ම වැව අවට ජීවත්වන ප්රජාවන් සහ ඊට සම්බන්ධ පාර්ශ්ව අතර පාරිසරික දැනුවත්භාවය, පරිසර අධ්යාපනය සහ වගකීමෙන් යුතුව කසළ බැහැර කිරීමේ පුරුදු වර්ධනය කිරීමද මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.


