ඔක්තෝබර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී කවන්තිස්ස නමැති ඇතා මියයාම සම්බන්ධ සියලු කරුණු විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
ඇතාගේ මරණයට සෘජුවම බලපෑ හේතු සහ ඊට පාදක වූ වෙනත් කරුණු සොයා බැලීම, ඇතාට ප්රතිකාර කිරීමේදී කිසියම් අතපසුවීමක් හෝ නොසැලකිල්ලක් සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම, වන අලින්ගේ සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් ක්රියාපටිපාටි සකස් කිරීම සහ ජාතික අලි සංරක්ෂණ වැඩසටහනක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති කාර්යයන් අතර වේ.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ. එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ. ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ. කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරති.
ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. හැරිසන් මහතා කමිටුවේ සම්බන්ධීකාරක ලෙස පත් කර ඇත.
දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීමට ද මෙම කමිටුවට බලය පවරා තිබේ. සිය විස්තරාත්මක වාර්තාව සහ නිර්දේශ දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කමිටුව අපේක්ෂා කෙරේ.


