සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කරයිද?

සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිතව ඉදිකරන ලංකාගම-නෙළුව මාර්ගය ජාත්‍යන්තර මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරමින් සංවර්ධනය කර ඇති බව පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත දන්වා ඇතැයි එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය පවසයි.

මෙහිදී “පරිසර අමාත්‍යංශය සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී ඇති වාර්තා” සැලකිල්ලට ගනිමින් යුනෙස්කෝ සංවිධානය විසින් කර තිබූ විමසීමට වාර්තාවක් සකස් ක‍ර යොමු කල බව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ මහ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත කියා සිටියේය.

ලබා දුන් වාර්තාව පිළිබද පිළිතුරු දක්වමින් යුනෙස්කෝ සංවිධානය සදහන් කර ඇත්තේ, ලෝක උරුම සම්මුතිය ක්‍රියාවට නැංවීම සඳහා වන (Operational Guidelines) මෙහෙයුම්වලට අදාළ මාර්ගෝපදේශයට අනුව තොරතුරුවල නිවැරදිභාවය තහවුරු කර ගනු වස් ඒවා ශ්‍රී ලංකාවේ සිටින සිය නියෝජිතයන් වෙත යවා ඇති බවත් තවමත් ඒ පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

‍කෙසේ වෙතත් පරිසර සංවිධාන පසුගියදා සදහන් කර තිබුනේ යම් හෙයකින් යුනෙස්කෝව ඉල්ලා තිබූ තොරතුරු ලබා දීමට අපොහොසත් වුවහොත් සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවයි.

“ලෝක උරුම දේපලක්” තුළ හෝ ඉන් පිටත සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA) හෝ ලෝක උරුම බලපෑම් තක්සේරු වාර්තාවක් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා දිය යුතු බව සිය මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් කර ඇති බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *