බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අවාමි ලීග් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ මගුරාහි පිහිටි නිවසට බදාදා රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සහභාගී වූ අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට ෂකීබ් අල් හසන් සහභාගී වී පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
රාත්‍රී 8.45ත් 9.00ත් අතර කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව මගුරා සදර් පොලිසියේ නිලධාරී මොහොමඩ් අබ්දුල්ලා අල් මමූන් සඳහන් කළේය. පිරිසක් නිවසට ගල් ප්‍රහාර එල්ල කර ජනේලවලට හානි කර ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරකයන් නිවසට ගිනි තැබීමටද උත්සාහ කර ඇති බවට වාර්තා පළ වී තිබේ. ඒ සඳහා පෙට්‍රල් පිරවූ සිසිල් බීම බෝතල් රැගෙන පැමිණ ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි බැවින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත. ෂකීබ් මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින අතර, සිද්ධියෙන් අනතුරුව පොලිස් ආරක්ෂාව නිවසට යොදවා තිබේ.
හසීනාගේ අන්තර්ජාල මාධ්‍ය හමුවට ෂකීබ් සහභාගී වෙයි
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා වසර දෙකකට පමණ පසු පළමු වරට බදාදා ජනතාව අමතා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබේ. එම අවස්ථාව පුරාම ඇගේ කැමරාව ක්‍රියාත්මක කර නොතිබූ බව වාර්තා වේ.
හසීනා විනාඩි 25ක පමණ කතාවක් සිදුකර ඇති අතර, හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්, හසීනාගේ පුත් සජීබ් වසෙඩ් ජෝයි සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මොහිබුල් හසන් චෞද්රිද එම අන්තර්ජාල මාධ්‍ය හමුවට සහභාගී වී තිබේ.
මන්ත්‍රීවරයෙකු වූ පසුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ෂකීබ්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසුවද ෂකීබ් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සහ T20 ලීග් තරග සඳහා සහභාගී විය.
2024 වසරේ බංග්ලාදේශයේ ඇති වූ විරෝධතා අතරතුරද ඔහු විවේචනයට ලක්විය. රජයේ රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ශිෂ්‍යයන් විසින් මෙහෙයවන ලද විරෝධතා අතරතුර, අවාමි ලීග් මන්ත්‍රීවරයෙකු වීම හේතුවෙන් ෂකීබ් නිහඬව සිටි බවට චෝදනා එල්ල විය.
ෂෙයික් හසීනාගේ රජය බිඳවැටීමෙන් පසුව බංග්ලාදේශය පුරා අවාමි ලීග් නායකයන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නිවාසවලට ප්‍රහාර එල්ල වූ අතර, ෂකීබ්ගේ මගුරාහි නිවසද එලෙස ඉලක්ක කර තිබිණි. එම අවස්ථාවේද ඔහු නිවසේ සිටියේ නැත.
ෂකීබ්ට එරෙහිව මිනීමැරුම් නඩුවක්
2024 අගෝස්තු මාසයේ සිදුවූ දේශපාලන පෙරළියෙන් පසුව ෂකීබ් බංග්ලාදේශයෙන් පිටව ගිය අතර ඔහු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
පසුව ඔහුට එරෙහිව අපරාධ නඩු කිහිපයක් ගොනු කර ඇති අතර, ශිෂ්‍ය විරෝධතා අතරතුර පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළ මිනීමැරුම් නඩුවක්ද ඒ අතර වේ.
මෙම නඩු ගොනු කරන අවස්ථාවේ ෂකීබ් විදේශගතව සිටි බැවින් බංග්ලාදේශ පොලිසියට ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.


