වැලිසරදී මියගිය නාවික නිලධාරියාට කොරෝනා වැලදී නොමැති බවට තහවුරු වේ

වැලිසර නාවික හමුදා කඳවුරේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රි මියගිය නාවික හමුදා නිලධාරියාට කොවිඩ්-19 වෛරසය වැලදී නොමැති බවටත්, එම නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

මෙම නිලධාරියාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත ඉකුත් 18 වෙනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබේ. ඔහු කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇතිබවයි.

කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.

කෙසේ වෙතත් මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවේම සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට තහවුරු වූ නිලධාරියෙක් සිටීම නිසා මියගිය නාවික හමුදා නිලධාරියාගේ දේහය පිළිඹද අවසන් කටයුතුද අදාළ ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

මෙලෙස මියගොස් ඇත්තේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරනු ලැබූ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 වියැති ලුතිනන් කොමාණ්ඩර් (ස්වේච්ඡා) දොඩම්වල ගෙදර සුනිල් බණ්ඩාර දොඩම්වල නම් නිලධාරියායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *