යුධ හමුදාපති

වත්මන් යුධ හමුදාපතිට අමෙරිකාවෙන් පනවා ඇති තහංචි සම්බන්ධව ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

වත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.

අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සාවද්‍ය බවත් යුධ හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

“වත්මන් යුධ හමුදාපතිවරයාගේ ජේෂ්ඨත්වය අනුව එවකට සිටි රාජ්‍ය නායකයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති තනතුරට පත් කරනු ලැබුවා. ඉන් පසුව වත්මන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාපතිවරයාව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කරනු ලැබුවේ වත්මන් හමුදා සේවයේ සිටින ජේෂ්ඨතම නිලධාරියා බැවිනි. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීමේ කාලය සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බවයි” විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව ඇති තොරතුරුවල මූලාශ්‍රයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යලි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා රජය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ අදාල අංශයන්හි නියමානුකූල වගන්ති අනුව 7031(c) වගන්තිය යටතේ ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට ඇමෙරිකානු එක්සත් ජනපදයට ඇතුළුවීම වාරණය කරමින් ඊයේ (14) දිනයේ නිකුත් කළ නිවේදනයට පිළිතුරක් වශයෙනි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ දී යුද හමුදාවේ 58 වෙනි සේනාංකය විසින් මානව හිමිකම් කඩකරන ලදැයි එල්ල වූ චෝදනාවලට අදාළව එම සේනාංකයේ අණදෙන නිලධාරියාව සිටි වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රසිද්ධියේ නම් කරන බවත්, මානව හිමිකම් කඩකිරීම් හෝ සැලකිය යුතු දූෂණවල යෙදී ඇතැයි යන්න ගැන විශ්වාසදායී තොරතුරු රාජ්‍ය ලේකම්වරයා සතු වන විට එවැනි පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළුවීමට සුදුසුකම් නොලබන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *