මේ වසරේ O/L විභාගය නොපවත්වන ලෙස ඩලස්ගෙන් යෝජනාවක්

අපොස සාමාන්‍ය පෙළ විභාගය වසරකින් කල් දමන ලෙස නිදහස් ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලීමක් කර තිබේ.

අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් පවතින බවයි.

මේ හේතුවෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලක්ෂ 6කට අධික පිරිසකට උසස් පෙළ දක්වා ඉදිරියට යාමට නොහැකිව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය නොපැවැත්වීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඒ වෙනුවට සියලුම සිසුන් උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කිරීමට සුදුසුකම් ඇති බවට විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකයක් ලබාදෙන ලෙස උපදෙස් දුන්නේය.

“කිසිදු සිසුවෙකුට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක කාටවත් රැකියා ලබාගන්න බැහැ කියන කාරණය” ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මෙම ක්‍රියාමාර්ගය මඟින් නැවත වරක් දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගය සහ අගෝස්තු මාසයේදී අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට බලධාරීන්ට ඉඩ සැලසෙන අතර එමඟින් සිසුන්ට අසාධාරණයක් සිදු නොවන බවයි.

ලන්ඩන් සාමාන්‍ය පෙළ සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගනු ලැබුවේ කොරොන වයිරස් වසංගතය තුළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන්ට විශාල සහනයක් ලැබුණු බවත් හෙළි කළ අලහප්පෙරුම මන්ත්‍රීවරයා තම යෝජනාව සලකා බලන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *