මීලග ඇමරිකානු ජනපති ට්‍රම්ප්ද? ජෝ බයිඩන්ද?

ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි තේරීම හෙට මැතිවරණ දිනය දා අත්විඳීමට ඇමෙරිකානු ඡන්දදායකයෝ සැරසෙමින් සිටිති. එම තේරීම සිදුවන්නේ දැනට ජනාධිපති ධුරය හොබවන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අතරිනි.

මේ එම තරගකරුවන් දෙදෙනා දරන ස්ථාවරය හා ප්‍රධාන කරුණු අටක් සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන සංසන්දනයක් හා එම කරුණු පිළිබද කරන සමාලෝචනයකි.

කොරෝනා වෛරසය

ජනාධිපති ට්‍රම්ප් ජනවාරි මස අගදී කොරෝනා වෛරස කාර්ය සාධන බලකායක් ස්ථාපනය කළ අතර ඔහු පවසන්නේ “සුරක්ෂිතතාව හා රට යළි විවෘත කිරීම” කෙරෙහි එහි අවධානය දැන් මාරු වී ඇති බවකි.

කොරෝනා වෛරසයට අදාළ ප්‍රතිකාර හා එන්නත් වේගයෙන් නිර්මාණය කිරීම ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමට ඔහු පියවර ගෙන තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා ඔහු යොමු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වේ..

ජෝ බයිඩන් හට අවශ්‍යවී තිබෙන්නේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් ස්ථාපනය කිරීමට ය. සෑම ප්‍රාන්තයකටම අවම වශයෙන් පරීක්ෂණ මධ්‍යස්ථාන 10 ක් පිහිටුවීමට හා කොරෝනා වෛරස හදුනා ගැනීමේ පරීක්ෂණ සැමට නොමිලේ සැපයීමට ඔහු සැලසුම් සකස් කරනා බවට පවසා ඇත.

රජයේ පරිශ්‍රවලදී සිට මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර රට පුරා මුව ආවරණ පැළඳීමට යොමු කිරීමට ඔහු ක්‍රියා කරනු ඇත.

දේශගුණය

ජනාධිපති ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් එතරම් සැලකීමක් නොදක්වන පුද්ගලයෙකි. එපමණක් නොව, පුනර්ජනනීය නොවන බලශක්තිය තවදුරටත් ව්‍යාප්ත කිරීමට ඔහු කටයුතු කරමින් සිටී. තෙල් හා ගෑස් සෙවීම සඳහා කැණීම් පුලුල් කිරීමටත් වැඩිමනත් පාරිසරික ආරක්ෂණ පියවර පිලිබද අවදානය යොමු කිරීම පවා ඔහු අතහැර ඇත.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් බැඳී ඇති පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත්වීමට ක්‍රියා කිරීමටද ඔහු ක්‍රියා කරමින් සිටී. මෙම වසර අගදී එක්සත් ජනපදය එම සම්මුතියෙන් නිල වශයෙන් ඉවත්වීමට නියමිතය.

ජෝ බයිඩන් කියා සිටින්නේ ඔහු තේරී පත්වුවහොත් වහාම පැරිස් දේශගුණික සම්මුතිය හා යළි එක්වන බවකි.

වසර 2050 වනවිට එක්සත් ජනපදයේ සිදුවන පරිසර දූෂණය ශුන්‍ය වනු දැකීමට ඔහුට අවශ්‍ය ය. පොදු ඉඩම්වල තෙල් හා ගෑස් සඳහා කෙරෙන කැණීම්වලට නව කල්බදු දීම තහනම් කිරීමට ද ඔහු යෝජනා කරයි.

ආර්ථිකය

ජනාධිපති ට්‍රම්ප් මාස 10 ක් තුළදී රැකියා මිලියන 10 ක් මෙන්ම අලුත් කුඩා ව්‍යාපාර මිලියනයක් ඇති කිරීම සඳහා සපථ කර ඇත.

බදු කපාහැරීම් සිදුකරමින් එක්සත් ජනපදය තුළ රැකියා අවස්ථා පවත්වාගෙන යාම සඳහා දිරිදීමක් වශයෙන් සමාගම් වෙත බදු ණය සපයන බවද ට්‍රම්ප් කියා සිටී.

ජෝ බයිඩන් කියා සිටින්නේ පොදු සේවාවල ආයෝජනය වෙනුවෙන් ගෙවීම සඳහා ඉහළ ආදායම් ලබන්නන් කෙරෙහි බදු ඉහළ නංවන බවය. නමුත් එම බදු නැංවීම බලපානුයේ ඩොලර් ලක්ෂ හතරක වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයන් හට පමණක් බවද ඔහු පවසයි.

දැනට ගෙවනු ලබන පැයකට ඩොලර් 7.25 ක් වන අවම වැටුප ඩොලර් 15 දක්වා ඉහළ නැංවීමට ද ඔහු සැලසුම් සකස් කර ඇති බවද ඔහු පවසා ඇත.

සෞඛ්‍ය පහසුකම්

ජනාධිපති ට්‍රම්ප් හට, හිටපු ජනාධිපති ඔබාමා ගේ පාලන සමයේ සම්මත කරන ලද පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණ ක්‍රමය සඳහා මධ්‍යම ආණ්ඩුවේ නියාමනයෙන් ලබා දුන් ‘දැරිය හැකි උවටැන් පනත’ (Affordable Care Act – ACA)) අවලංගු කිරීමේ අවශ්‍යතාවක් ඇත. එම නියාමන පියවරට අනුව පූර්ව රෝගී තත්ත්ව ඇත්තන් හට රක්ෂණාවරණ දීම ප්‍රතික්ෂේප කිරීමද නීතිවිරෝධී බව දක්වා තිබිණි. එම වැඩපිළිවෙලට ආදේශකයක් එක්කොට වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව ට්‍රම්ප් පැවසුව ද ඒ පිළිබඳ විස්තර කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත්කොට නැත.

මිල අඩු ඖෂධ ආනයනයට ඉඩ සලසමින් ඖෂධ මිල අඩු කිරීම ද ජනාධිපතිවරයාගේ අපේක්ෂාව ය.

ජෝ බයිඩන් හට අවශ්‍යව තිබෙන්නේ ඔබාමා පාලන සමයේ හඳුන්වා දුන් වැඩපිළිවෙල (ACA) ආරක්ෂා කොට පුළුල් කිරීමට ය.

වැඩිහිටි පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිලාභ සලසන ‘මෙඩිකෙයාර්’ වැඩපිළිවෙලට සුදුසුකම් ලබන වයස 65 සිට 60 දක්වා පහළට ගෙන ඒමට තමන්ට අවශ්‍ය බව බයිඩන් කියයි. ‘මෙඩිකෙයාර්’ වැනි පොදු සෞඛ්‍ය රක්ෂණාවරණ සැලසුමකට එක්වීම සඳහා සෑම අමෙරිකානුවකුට ම ඉඩ සැලසීම ඔහු ගේ අවශ්‍යතාව වී තිබේ.

විදේශ ප්‍රතිපත්තිය

ජනාධිපති ට්‍රම්ප්, විදේශවල සිටින ඇමෙරිකානු හමුදා යළි ගෙන්වා ගන්නා බවට වූ සිය පොරොන්දුව යළි යළිත් අවධාරණය කරමින් තවදුරටත් හමුදාව සඳහා ආයෝජනය කිරීම සිදු කරයි.

ජාත්‍යන්තර සන්ධානවලට තවදුරටත් අභියෝග කරන බව පවසන ජනාධිපතිවරයා චීනය කෙරෙහි පනවා ඇති වෙළෙඳ තහනම තවදුරටත් පවත්වාගෙන යාමට දිවුරුම් දී ඇත.

ජෝ බයිඩන් ගේ පොරොන්දුව ඇමෙරිකානු මිත්‍ර පාර්ශව සමග ඇති සබඳතා යළි පනගන්වා ගැනීමට ය.

චීනය මත ඒක පාර්ශ්විකව පනවා ඇති බදුවලින් ඉවත්වන බව පවසන බයිඩන් කියා සිටින්නේ ඒ වෙනුවට, චීනයට “නොසලකා හැරිය නොහැකි” ජාත්‍යන්තර සන්ධානයකට වගවීමට සලස්වන බවය.

වාර්ගිකත්වය හා පොලිස් පාලනය

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ වර්ගවාදය එක්සත් ජනපද පොලිස් බල ඇණිවලට සම්බන්ධ ආයතනික ගැටලුවක් යැයි තමන් විශ්වාස නොකරන බවය.

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෘජුව පෙනීසිටින්නෙකු ලෙස ට්‍රම්ප් තමන් හඳුන්වා ගනු ලැබුවද කිසිවකු මෙල්ල කිරීම සඳහා ගෙල සිර කිරීම වැනී දරුණු වද හින්සාවන්ට විරුද්ධ වෙමින් ඊට වඩා උසස් නීතිමය උපක්‍රම භාවිතය සදහා ප්‍රතිපාදන සැපයීමට ද ඉදිරිපත් වී ඇත.

ජෝ බයිඩන් වර්ගවාදය දකින්නේ ආයතනික ගැටලුවක් ලෙසිනි. යුක්තිය රකින පද්ධතියේ ඇති වාර්ගික අසමානතා විසඳීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ඔහු ක්‍රියා කර ඇත.

පොලිසියට මුදල් යෙදවීමෙන් වළකින ලෙසට නැගෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ඔහු කියා සිටින්නේ ඒ වෙනුවට, නියමිත ප්‍රමිතිගත තත්ත්ව පවත්වාගෙන යාම සඳහා අමතර සම්පත් එක් කළ යුතු බවය.

ගිනි අවි

ජනාධිපති ට්‍රම්ප්, අවි දැරීමේ අයිතිය සඳහා ඇමෙරිකානුවන්ට ඇති අයිතිය පිළිබද එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනය සම්බන්ධයෙන් ඇත්තේ විවෘත අදහසකි.

2019 වසරේ වර්තා වූ සමූහ වෙඩි තැබීම්වලින් අනතුරුව, ගිනි අවි මිලට ගන්නන් පිළිබඳ කෙරෙන සෝදිසියෙන් සිටිය යුතු බවට ඔහු යෝජනා කළේය. නමුත් ඉන් අනතුරුව කිසිවක් සිදු නොවූ අතර කිසිදු නෛතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නොනැගිණි.

ජෝ බයිඩන් කළ යෝජනා අතරට ආක්‍රමණශීලී ගිනි අවි තහනම් කිරීම, පුළුල් පසුබිම් සෝදිසියක්, මසකට එක් ගිනි අවියක් පමණක් වන සේ පුද්ගලයෙකුට මිලදී ගත හැකි ගිනි අවි ප්‍රමාණය සීමා කිරීම හා අපරික්ෂාකාරී ගිනි අවි නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්ට එරෙහිව නඩු පැවරීම පහසු කිරීම ද අයත් වේ.

ගිනි අවි භාවිත ප්‍රචණ්ඩත්වය වැළක්වීම සඳහා වූ තවත් පර්යේෂණ වෙනුවෙන් අරමුදල් සම්පාදනය කරන බවද ජෝ බයිඩන් පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය

ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ සිය පළමු නිල වාරයේ ඉතිරිව ඇති කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි අයිතියක් බවය. ඒ සඳහා ගතානුගතික විනිසුරුවරියක වන ඒමි කොනී බැරට්, ඔහු විසින් යෝජනා කරනු ලැබීය.

එක්සත් ජනපදය තුළ ගබ්සාවට ඇති නෛතික හිමිකම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කඩිනමින් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති කරුණකි. ජනාධිපති ට්‍රම්ප් මෙන්ම බැරට් විනිසුරුවරිය ද මීට පෙර ඊට විරුද්ධව අදහස් පළකර ඇත.

ජෝ බයිඩන් ට අවශ්‍යව තිබුණේ මීළඟ ජනාධිපතිවරයා පත් වූ පසු අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩුව පුරවනු දැකීමට ය.

ශ්‍රේෂ්ඨාධිකරණය එයට එරෙහිව තීන්දුවක් ලබා දුන හොත්. ගබ්සාවක් සඳහා කාන්තාවකට ඇති අයිතිය සහතික කිරීම සඳහා ඉඩ සැලසෙන නීති ප්‍රතිපාදන සම්මත කිරීම වෙනුවෙන් කටයුතු කිරීමට තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ක්‍රියා කරන බව ජෝ බයිඩන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *