දිවයිනේ සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව, රැඳවියන්ගේ සුබසාධනය සහ හදිසි අවස්ථාවල ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ.
බන්ධනාගාරවල වත්මන් තත්ත්වය සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති පියවර සමාලෝචනය කිරීම වෙනුවෙන් සිකුරාදා (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
යෝජිත ඒකාබද්ධ යාන්ත්‍රණය මගින් රැඳවියන් මුහුණ දෙන ගැටලු සමාලෝචනය කිරීම, ඔවුන්ගේ සුබසාධනය අධීක්ෂණය කිරීම සහ හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට නියමිතය.
මෙම යාන්ත්‍රණය දිවයිනේ බන්ධනාගාර 33ම ආවරණය වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත වේ. අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද ඊට එක් කිරීමට නියමිතය.
මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය ලබන සතියේ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් වේ.
එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස අදාළ නිලධාරීන් රැඳවියන් සමඟ සාකච්ඡා කර ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවද අවධානය යොමු කිරීමට නියමිතය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක සහ අධිකරණ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


