වසර 6ක් තුළ විශේෂඥ වෛද්‍යවරු 3,791ක් රට හැර ගිහින්

2020 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 3,791 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔවුන්ගෙන් බහුතරයක් පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වී ඇති අතර, තවත් පිරිසක් රැකියා සඳහා, විදේශගත වූ තම සහකරු හෝ සහකාරිය සමඟ එක්වීමට, වැඩිදුර අධ්‍යාපනය සඳහා හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසර තුළ මේ දක්වා වෛද්‍යවරුන් 280 දෙනෙකු විදේශගත වීම සඳහා අයදුම් කර ඇති බවද ඔහු පැවසීය.

2020 සිට 2026 ජුනි දක්වා කාලය තුළ වෛද්‍යවරුන් 1,429 දෙනෙකුට විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය. එම කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 140 දෙනෙකුටද විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදී තිබේ.

කෙසේ වෙතත්, වෛද්‍යවරුන් විදේශගත වීමට පෙර සේවයෙන් ඉල්ලා අස්වන හෝ සේවය හැර යන අවස්ථා සම්බන්ධ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය.

වෛද්‍යවරුන්ගේ විදේශගත වීම අවම කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවත්, මෙරට වෛද්‍යවරුන් සඳහා වඩාත් යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වෛද්‍යවරුන්ගේ දීමනා වැඩි කිරීම, ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු පියවර එම වැඩසටහනට ඇතුළත් වන අතර, තවත් යෝජනා කිහිපයක්ද මේ වනවිට සලකා බලමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *