විගණකාධිපතිගේ වැටුපට COPF අනුමැතිය – ස්වාධීන වැටුප් කොමිසමක් පිහිටුවන්නැයි නිර්දේශ

විගණකාධිපතිවරයාගේ යෝජිත වැටුප සඳහා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අනුමැතිය ලබාදී ඇති අතර, ප්‍රධාන රාජ්‍ය තනතුරු සඳහා වැටුප් තීරණය කිරීම වෙනුවෙන් ස්ථිර හා ස්වාධීන වැටුප් හා සේවා ව්‍යුහ කොමිසමක් ස්ථාපිත කරන ලෙස රජයට නිර්දේශ කර තිබේ.

අගෝස්තු 4 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති COPF රැස්වීමකදී විගණකාධිපති කාර්යාලයට අදාළ වැටුප් පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

විගණකාධිපතිවරයාගේ වැටුප සඳහා කාරක සභාවේ අනුමැතිය අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153(2) වගන්තිය යටතේ දැක්වේ.

රාජ්‍ය මූල්‍ය ආරක්ෂා කිරීම සහ ස්වාධීන රාජ්‍ය විගණනය සහතික කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති කාර්යාලයට පැවරී ඇති වැදගත් වගකීම් සැලකිල්ලට ගනිමින් එම තනතුරේ වැටුප තීරණය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 වැනි වගන්තිය අනුව විගණකාධිපතිවරයා රාජ්‍ය නිලධාරියෙකු නොවන බැවින්, එම තනතුරේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවා වැටුප් ව්‍යුහයෙන් බැහැරව තීරණය කළ හැකි බවද කාරක සභාව සඳහන් කළේය.

පෙර සිටි විගණකාධිපතිවරුන්ගේ වැටුප් සමාලෝචනය කිරීමෙන් අනතුරුව යෝජිත වැටුප සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ. මෙම තනතුර සඳහා වැටුප් තීරණය කිරීමේ කටයුතු මීට පෙර ජාතික වැටුප් හා සේවා ව්‍යුහ කොමිසම මගින් සිදුකර තිබූ නමුත් එම කොමිසම මේ වනවිට ක්‍රියාත්මක නොවන බවද ඔවුහු සඳහන් කළහ.

යෝජිත වැටුප සඳහා අනුමැතිය ලබාදුන්නද, විගණකාධිපති තනතුරේ වගකීම් සහ ස්වාධීනත්වය වඩාත් හොඳින් පිළිබිඹු වන පරිදි එහි වැටුප තවදුරටත් සමාලෝචනය කළ යුතු බව කාරක සභා සාමාජිකයන්ගේ අදහස විය.

ඒ අනුව, මෙවැනි ව්‍යවස්ථාපිත තනතුරු සඳහා අනාගතයේදී වැටුප් ව්‍යුහයන් අධීක්ෂණය කිරීම සඳහා ස්ථිර හා ස්වාධීන වැටුප් හා සේවා ව්‍යුහ කොමිසමක් ස්ථාපිත කරන ලෙස COPF රජයට නිර්දේශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *