පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් – ගරු සිරිල් ගාමිණි පියතුමන් පවසයි

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි විශ්වාස කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තුන් වන දිනටත් ඊයෙ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුවය.

මේ වන විට පියතුමන්ගෙන් පැය 20කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ප්‍රකාශ ගැනීම අවසන් විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණී පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වනදා කර තිබූ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පැමිණිල්ලක් ගොනු කළේය.

ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 15 වැනිදා සහ 16 වැනිදා පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේය.

16 වැනිදා ප්‍රකාශ ලබාදීම අවසානයේ පියතුමන් සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුන්වන දිනටත් කැඳවීමක් කළද තමන් එය ප්‍රතික්ෂේප කළ බවය.

කෙසේවෙතත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තුන් වන දිනටත් පෙනී සිටින ලෙස ගරු සිරිල් ගාමිණි පියතුමන්ට කළ කැඳවීමට අනුව පියතුමන් අද උදෑසන 9.45 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

උන්වහන්සේ පැමිණෙන විටත් පියතුමන්ලා කණ්ඩායමක් එම ස්ථානයේ නිහඬ විරෝධතාවක නිරතවිය.

පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පස්වරු 1.45ට පමණ ගරු සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේය.

එහිදී අදහස් දැක්වූ ගරු සිරිල් ගාමිණී පියතුමන්

“අපිට ප්‍රශ්නයක් එනවා, නීතිපතිවරයාටත් ඒ වගේම රජයටත් මෙතනදී අවශ්‍ය වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් සෙවීමද නැතිනම්, සත්‍ය සාධාරණත්වය සොයා යාමද කියන ඒක. එහෙම නැත්නම් ඒක යටගහන්ද අවශ්‍යතාවය තියෙන්නේ කියන ඒක”

ප්‍රශ්නය – ඔබවහන්සේලා කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව දේශපාලනික කුමන්ත්‍රණයක් තියෙනවා කියලා?

පිළිතුරු – දප්පුල ද ලිවේරා කියනවා එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා කියලා.

ප්‍රශ්නය- ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් වන රොහාන් ගුණරත්ත කියනවා මේ සියලු දේ සංසන්දනය කරලා බැලුවාම මේකේ දේශපාලනික අරමුණක් නෑ කියලා?

පිළිතුර – ඒ කියන්නේ රොහාන් ගුණරත්නනේ, එතකොට රොහාන් ගුණරත්නට වඩා හිටපු නීතිපති ළඟයි සියලු කරුණු තියෙන්නේ. එතකොට රොහාන් ගුණරත්නට වඩා එයා දන්නවානේ. අපි විශ්වාස කරනවා ඒ නිසා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *