වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්

වන අලියෙකුට මාරාන්තික තුවාල සිදුකිරීමේ හෝ ඝාතනය කිරීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස බඳින තුවක්කුවක් ඇටවීම සහ බලපත්ර නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම යන චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය මඟින් රුපියල් 310,000ක (රුපියල් තුන්ලක්ෂ දසදහසක) දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කහටගස්දිගිලිය වනජීවී අඩවි සහකාර එම්.ඒ.කේ.එස්. දිසානායක මහතා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ඔක්තෝබර් 24 වැනි දින මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොකේබේ රක්ෂිත වනාන්තර සීමාව ඔස්සේ වනජීවී නිලධාරීන් සිදුකළ විශේෂ ක්ෂේත්ර මුර සංචාරයක් අතරතුරදී, පෞද්ගලික ඉඩමක මායිමක මෙම අනතුරුදායක බඳින තුවක්කුව සවිකර තිබියදී සොයාගෙන ඇත.
අධිකරණයෙන් නියම වූ දඩය
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩයක් ලෙස අත්අඩංගුවට ගත් ගිනිඅවිය ඔක්තෝබර් 25 වැනි දින කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. අනතුරුව ඔක්තෝබර් 30 වැනිදා වනජීවී නිලධාරීන් විසින් අදාළ චෝදනා ගොනුකිරීමෙන් පසු, කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුට මෙම රුපියල් 310,000ක දඩය නියම කළේය.
වනජීවීන්ට එරෙහිව සිදුවන මෙවැනි මාරාන්තික අපරාධ සහ නීතිවිරෝධී ක්රියාවන් මැඩපැවැත්වීම සඳහා කහටගස්දිගිලිය වනජීවී බීට්ටු බලප්රදේශය පුරා දිවා රාත්රී ක්ෂේත්ර මුර සංචාරයන් තවදුරටත් දැඩිව ක්රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
