පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේදී වෙඩි වැදී මියගිය රැඳවියාගේ සිද්ධිය පිළිබඳව පවුලේ ඥාතීන්ගෙන් සැකසංකා

මහනුවර, පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නිලධාරියෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් 27 හැවිරිදි රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවෙකු මියයාමේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළිවෙමින් පවතින අතර, ඔහුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව පවුලේ ඥාතීන් දැඩි සැකසංකා සහ විරෝධය පළ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා ප්‍රකාශ කළේ, අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. පසුගිය ඉරිදා (01) රාත්‍රී 8.00ට පමණ බන්ධනාගාරයෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
“අපිට මරණය දැනුම් දුන්නෙත් නෑ; මූණ බලන්න දුන්නෙත් නෑ”
කෙසේවෙතත්, මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණය පිළිබඳව බන්ධනාගාරයෙන් හෝ පොලිසියෙන් තමන්ට නිසි පරිදි දැනුම් දීමක් නොකළ බවත්, වෙනත් බාහිර පුද්ගලයින් මාර්ගයෙන් තමන් ඒ පිළිබඳව දැනගත් බවත්ය.
සිද්ධිය සැලවූ වහාම කරුණු විමසීම සඳහා තමන් ගලගෙදර පොලිසියට සහ රෝහල වෙත ගියද, එහිදී සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් නිසි පැහැදිලි කිරීමක් ලබා නොදුන් බව ඥාතීහු පවසති. එමෙන්ම, මියගිය තරුණයාගේ දේහයේ මුහුණ බැලීමට පවා තමන්ට අවසර ලබා නොදුන් බවත්, මරණය පිළිබඳව අතිශය සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණක් ලබාදුන් බවත් ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
එම රැඳවියා බන්ධනාගාරගතව සිටියේ දින තුනක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, ඔහුගේ අස්ථි බිඳී ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එක් ඥාතියෙකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. නැතිවූ ජීවිතය යළි ලබාගත නොහැකි වුවද, තම දරුවාට සිදුවූ අසාධාරණයට සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකරන ලෙස පවුලේ සාමාජිකයෝ බලධාරීන්ගෙන් අයැද සිටිති.
මාස හයකට පෙර විවාහ වූ ගැබිනි බිරිඳකගේ සැමියා
මහනුවර ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මියගිය මෙම තරුණයා මීට මාස හයකට පමණ පෙර විවාහ වී ඇති අතර, ඔහුගේ විසිතුන් හැවිරිදි බිරිඳ මේ වන විට දෙමසක ගැබිනියක් බවද වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. මීට පෙර වාර්තා වූයේ ඔහු සතියක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ බවයි.
වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
