Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයට පත්වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම පිරිමි එක්දින (ODI) කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව අභිබවා 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්ව ඇති අතර, එය ඔවුන් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වේ.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව කණ්ඩායම් දෙකම ශ්‍රේණිගත ලකුණු (Rating points) 94 බැගින් සමව ලබා සිටියද, දශම ගණනය කිරීම් මත ඇෆ්ගනිස්තානය 6 වැනි ස්ථානයටත්, ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයටත් පත්ව තිබේ. ඒ අනුව එංගලන්තය, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් වැනි ප්‍රබල කණ්ඩායම් පවා පසුපසට ඇද දමමින් ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්තානය සමත්ව ඇත.

අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරගාවලිය 4-0ක් ලෙස ජයගැනීම සහ සිම්බාබ්වේ හා බංග්ලාදේශය සමඟ පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී අපරාජිතව ශූරතාව දිනාගැනීම ඇතුළු මෑතකදී දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙම පෙරළියට මූලික විය. 2009 දී ජාත්‍යන්තර එක්දින වරම් ලැබූ ඇෆ්ගනිස්තානය, මෙතෙක් ක්‍රීඩා කළ තරග 191න් තරග 96ක් ජයගනිමින් සියයට 1.09ක ඉහළ ජයග්‍රාහී අනුපාතයක් රඳවාගෙන සිටියි.

ශ්‍රී ලංකාව පසුබෑමකට; නමුත් ලෝක කුසලාන සිහිනය සුරක්ෂිතයි

2025 වසරේදී සිය මව්බිමේදී ලැබූ විශිෂ්ට එක්දින තරගාවලි ජයග්‍රහණ රැල්ලක් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි හිටපු ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම 7 වැනි ස්ථානය දක්වා පහත වැටීම යම් පසුබෑමකි.

කෙසේවෙතත්, මෙම ශ්‍රේණිගත කිරීම් පසුබෑම හමුවේ වුවද, එළඹෙන 2027 ICC එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකාවේ අවස්ථාවට කිසිදු හානියක් සිදුව නොමැත. මන්දයත්, සම-සත්කාරකත්වය දරන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ රාජ්‍යයන් සමඟින්, 2026 සැප්තැම්බර් 30 වැනි දින පැවති ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව ශ්‍රී ලංකාව ඒ වන විටත් ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා අවසන් වීමයි.

නවතම ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන්නේ ඉන්දියාව වන අතර, පිළිවෙළින් නවසීලන්තය (2), දකුණු අප්‍රිකාව (3), පාකිස්තානය (4) සහ ඕස්ට්‍රේලියාව (5) ඉදිරි පෙළ ස්ථාන රඳවාගෙන සිටිති.

ඔබේ අදහස