ශ්‍රී ලංකා රජයේ යෝජිත නව පනත් කෙටුම්පත් ඉල්ලා අස්කරගන්නැයි බලකරමින් ලන්ඩනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්

ශ්‍රී ලංකාවේ දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වහාම අහෝසි කරන ලෙසත්, ජාතික ජන බලවේග (NPP) රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නව මර්දනකාරී පනත් කෙටුම්පත් වහා ඉල්ලා අස්කර ගන්නා ලෙසත් බලකරමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් පසුගිය ඉරිදා (නොවැම්බර් 01) ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් හි පාර්ලිමේන්තු චතුරශ්‍රයේ (Parliament Square) පැවති මෙම විරෝධතාව ‘ජන අරගල ව්‍යාපාරය – එක්සත් රාජධානිය’ (People’s Struggle Movement – Sri Lanka UK) සහ ‘සමාජ සාධාරණත්වය සඳහා වන මහජන ව්‍යාපාරය’ (Mass Movement for Social Justice) විසින් ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.
සංවිධායකයින් සඳහන් කරන්නේ, එක්සත් රාජධානියේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන සියලුම ජන ප්‍රජාවන් නියෝජනය කරමින් විරෝධතාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.
“නව පනත් කෙටුම්පත් වහා හකුලාගනු”
දැනට පවතින කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස මෙහිදී බලකර සිටි විරෝධතාකරුවෝ, රජය විසින් අලුතින් හඳුන්වා දීමට සූදානම් වන ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) යන නීති කෙටුම්පත් දෙකට සිය දැඩි විරෝධය පළ කළහ.
මෙම යෝජිත නීති මඟින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, සිවිල් නිදහස සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් බරපතළ ලෙස මර්දනය වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල අවධානය
යෝජිත නව නීති කෙටුම්පත්වල අන්තර්ගත අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබාගැනීම, පුරවැසියන් පිළිබඳ ඔත්තු බැලීම (Surveillance) සහ ජනතා නිදහස සීමාකිරීමට අදාළ ඇතැම් මර්දනකාරී වගන්ති පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක්ද මෑතකදී සිය දැඩි කනස්සල්ල පළකර තිබූ පසුබිමක මෙම විරෝධතාව පැවැත්විණි.
විශේෂයෙන්ම හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය මීට පෙර පෙන්වා දී තිබුණේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සමාන අත්තනෝමතික බලතල මෙම නව පනත් කෙටුම්පත් හරහාද යළි ස්ථාපිත වීමේ බරපතළ අවදානමක් පවතින බවයි.





