Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සබරගමුවේ උසස් පෙළ විශිෂ්ටයින්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂයක මූල්‍ය ප්‍රදානයක්: රත්නපුරයේදී සිසුන් 40කට උපහාර

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී සබරගමු පළාත තුළ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ට අධ්‍යයන කුසලතා දැක්වූ දූ දරුවන් ඇගයීම වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් සංවිධානය කරන ලද විශේෂ උපහාර උළෙල ඊයේ (01) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම ජාතික වැඩසටහන යටතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙක ආවරණය වන පරිදි එක් එක් විෂය ධාරාවන්ගෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් 20 දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ව මෙහිදී ඇගයීමට ලක්කෙරිණි. ඒ අනුව එක් සිසුවෙකු වෙත රුපියල් 100,000ක (රුපියල් ලක්ෂයක) මූල්‍ය ප්‍රදානයක් සහ විශේෂ ඇගයීම් සහතික පත්‍රයක් බැගින් පිරිනමන ලදී.

“රටේ නායකත්වය උගත් දරුවන්ට” – කථානායක

උත්සව සභාව අමතමින් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ, වත්මන් රජයේ “ජනතාව පළමුව” (People First) යන උදාර ප්‍රතිපත්තියට අනුකූලව ජනාධිපති අරමුදල හුදු සහනාධාර ලබාදීමෙන් ඔබ්බට ගොස් පුරවැසියන්ගේ සැබෑ සුබසාධනය උදෙසා පුළුල් කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවයි.

පැරණි දූෂිත දේශපාලන සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම බැහැරව, ඉහළ විනයක්, අවංකභාවයක් සහ යුක්තිගරුක බවක් සහිත උගත්, බුද්ධිමත් පුද්ගලයින්ට රට මෙහෙයවීමේ වගකීම පැවරෙන පරිදි වර්තමාන පාර්ලිමේන්තුව ව්‍යුහගත වී ඇති බව කථානායකවරයා අවධාරණය කළේය. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිලාභ භුක්ති විඳින දූ දරුවන් දැනුමෙන් මෙන්ම යහපත් මානව ගුණධර්මවලින් සන්නද්ධ වී, සිය වෘත්තීය නිපුණතාව රටේ සංවර්ධනයට යොදවමින් අනාගත නායකත්වය කරට ගැනීමට නිර්භීතව පෙරමුණ ගත යුතු බවටද ඒ මහතා ඉල්ලා සිටියේය.

අධ්‍යාපනයේ විෂමතා පිටුදැකීම

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පෙන්වා දුන්නේ, අධ්‍යාපනය යනු හුදෙක් දරුවෙකුට පොතපතේ දැනුම ලබාදීම පමණක් නොවන බවයි. අන්‍යයන් සමඟ සාමූහිකව සහයෝගයෙන් ජීවත්වීම, පරිසරයට ආදරය කිරීම මෙන්ම විවිධ ආගමික හා සංස්කෘතික විවිධත්වයන්ට ගරු කිරීම වැනි උසස් මානව ගුණාංග දරුවා තුළ රෝපණය කිරීම අධ්‍යාපනයේ මූලික අරමුණක් විය යුතු බව ඔහු සඳහන් කළේය.

මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ පවතින විෂමතා සම්පූර්ණයෙන්ම තුරන් කර, සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාන අවස්ථා තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ දැක්ම බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් ජනාධිපති අරමුදල ලබාදෙන අඛණ්ඩ දායකත්වයද ඉහළින්ම ඇගයීමට ලක්කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ මහතාද මෙම උත්සව සභාව ඇමතූ අතර, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ආචාර්යවරුන් මෙන්ම දක්ෂතා දැක්වූ සිසු දරුවන්ගේ දෙමව්පියෝද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ඔබේ අදහස