දූෂණ විරෝධී පනත් සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අවසන්: රහස් තීන්දුව කථානායකවරයාට සහ ජනපතිට

රජය ඉදිරිපත් කිරීමට යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගය අවසන් කර තිබේ.

එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස් තීරණය නියමිත අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත දැනුම් දෙන බව අධිකරණය ප්‍රකාශ කළේය.

පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර, ඒවා දින දෙකක් පුරා විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැණිනි.

විනිසුරු ශිරාන් ගුණරත්න, විනිසුරු මහින්ද සමයවර්ධන සහ විනිසුරු සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් එම විනිසුරු මඬුල්ල සමන්විත විය.

ඊයේ (04) වාචික කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව, අදාළ පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීමට ඇති ලිඛිත කරුණු ඇත්නම් ඒවා සඳුදා දහවල් 12.00ට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඉන් අනතුරුව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් අධිකරණයේ රහස් තීරණය නියමිත ක්‍රමවේදය අනුව කථානායකවරයා වෙත දැනුම් දෙන බවයි.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, Media Law Forum සහ Transparency International Sri Lanka ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන්ගේ තර්කය වී ඇත්තේ යෝජිත සංශෝධන මගින් අධිකරණ බලතල සීමා කිරීමටත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමටත් ඉඩ ඇති බවයි.

එමෙන්ම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව බලාත්මක කළ නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *