කල්පිටිය පොලිස් වසමේ පලකූඩාව ප්‍රදේශයේදී ඊයේ (03) 26 හැවිරිදි ගැබිනි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඇය ඝාතනය කර තිබේ.
පොලිසිය පැවසුවේ පලකූඩාව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අදාළ කාන්තාවට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල සිදුව ඇති අතර, ඇය කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාල හේතුවෙන් මියගොස් ඇති බවයි. ඇයගේ නූපන් දරුවාද එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සිය සැමියාගෙන් වෙන්වී සැකකරු සමඟ ජීවත් වී ඇති බවයි. දිගුකාලීන පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට සැක කෙරෙන අතර, සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මිනිත්තු 45ක් ඇතුළත 36 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. සැකකරු ICE මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


