ආසියාවේ පැතිරෙන උග්‍ර විෂ සහිත දිලීරය ඕස්ට්‍රේලියාවෙනුත්

ලෝකයේ මෙතෙක් හමු වී ඇති මාරාන්තික දිලීර වර්ගවලින් එකක් ලෙස සැලකෙන ‘ෆයර් කොරල්’ නම් වු දිලීර වර්ගය පළමු වතාවට ඕස්ට්‍රේලියාවෙන් ද හමු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙතෙක් කල් මෙම දිලීර වර්ගය දැකගත හැකි වූයේ ජපානය සහ කොරියාවේ පමණක් වු අතර ආසියාවේ තිබු මෙම දිලීර වර්ගය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවීමත් සමඟ එහි ව්‍යාප්තිය ගැන අවධානය සිටිය යුතු බව පරීක්ෂකයෝ පවසති.

මෙම දිලීර වර්ගය ආහාරයට ගතහොත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රීය වීම හා මොළයට හානි සිදු වීමට ඉඩ බව පෙන්වාදෙන පරීක්ෂණ කණ්ඩායම්, පාරම්පරික ඖෂධයකට ලබා ගන්නා වෙනත් දිලීර වර්ගයක් යැයි වරදවා මෙම විෂ දිලීරයෙන් පානයක් සකසා පරිභෝජනය කිරීමෙන් මියගිය පුද්ගලයන් ගැන ජපානය සහ දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති බව පෙන්වා දෙයි.

‘ෆයර් කොරල්’ දිලීර පිළිබදව පරීක්ෂණ පවත්වන ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පවසන පරිදි මෙම දිලීර වර්ගය ඇල්ලීමෙන් පමණක් ම ශරීරය ඉදිමීම, දැවිල්ල සහ චර්ම රෝගවලට ගොදුරු විය හැකිය.

දැනට හඳුනාගෙන ඇති සිය ගණනක් විෂ දිලීර සහිත හතු වර්ග අතර, පුද්ගලයෙකුගේ සම තුළින් ශරීරයට විෂ ඇතුළු වන එකම දිලීර වර්ගය මෙය බව ආචාර්ය මැට් බැරෙට් පැවසීය.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙ පිහිටි වැසි වනාන්තරයක තිබූ මෙය ප්‍රදේශවාසියෙකු ඡායාරූපගත කර ඇති අතර, එම ඡායාරූපය මගින් අදාළ දිලීර වර්ගය හඳුනාගෙන තිබේ.

චීනය, තායිලන්තය සහ පැපුවා නිව් ගිනියාවේ ද මෙම දිලීර වර්ගය දුටු බව වාර්තා වී ඇති බව වාර්තාවන අතර වසර දහස් ගණනකට පෙර මෙම දිලීරයේ බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සැක පහළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *