හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් අද (06) ආරම්භ කළේය. එහි සමාරම්භක උත්සවය එම පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පිටකෝට්ටේදී පැවැත්වුණි.
උත්සවය සංවිධාන කර තිබුණේ “පිරිසිදු බණ්ඩාරණායක ප්‍රතිපත්තිය වෙනුවෙන් නව ලංකා නිදහස් පක්ෂය” ලෙසිනි.
එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාවෙත පිළිගන්වනු ලැබීය. සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වු නව සිංහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පවසා සිටියේ, එළඹෙන මැතිවරණයේ දි කුමාර වෙල්ගම මහතා සමඟ සන්ධාන ගත වී ඉදිරිපත් වන බවයි. ඒ තුළින් දැවැන්ත පිරිසක් පාර්ලිමේන්තුවට රැගෙන යන බවත් පැවසු ඒ මහතා, සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට කුමාර වෙල්ගම මහතාව පත් කරන බවත් පැවසීය.