වාලච්චේන කඩදාසි කම්හලේ මුල් අදියර මාස කීපයක් ඇතුළත අරඹන බව විමල් වීරවංශ පවසයි

වාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොවෙයි, නොසලකා හැර ඇති රජයේ කර්මාන්තශාලා සියල්ලටම පණ දීමේ වගකීමට උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

වාලච්චේන ජාතික කඩදාසි කම්හලට අමතරව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලු රජය සතු කර්මාන්ත ශාලාවලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. එතුමා මේ බව සදහන් කළේ වසා දමා ඇති වාලච්චේන ජාතික කඩදාසි කම්හල් පරිශ්‍රයේ අද දින (16) නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සදහන් කර සිටියේ, ”4000 කට අධික සේවක පිරිසක් සේවයේ යෙදී සිටි, මෙරටට මහා ධන උල්පතක් වූ, වාලච්චේන ජාතික කඩදාසි කම්හල අද අභාවයට යවා තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය ලෙස යළි එය ආරම්භ කිරීමට අධ්‍යයනයක නිරතව සිටිනවා. සම්පූර්ණයෙන්ම නොවුණත් මාස කිහිපයක් තුළ මෙහි අංශ කිහිපයක හෝ කටයුතු මුල් අදියර ලෙස ඇරඹීමට අපි සූදානම්. මේ ප්‍රදේශය තරුණ පිරිස්වලට රැකියා ලබා දෙන උල්පතක් ලෙසත් කඩදාසි, කාඩ්බෝඩ්, ෆයිල් කවර ආදිය සඳහා පිටරටට ඇදී යන මුදල් මෙරටට රඳවා තබා ගත හැකි ධන උල්පතක් ලෙසත් මෙය සැලකිය හැකියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අප රජයේ ප්‍රතිපත්තිය මෙවැනි දේශීය කර්මාන්ත නගා සිටුවීම”. බවත්ය.

එමෙන්ම අත්හැර දැමූ සීනි කර්මාන්තශාලා, පිඟන් කර්මාන්තශාලා, ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව වැනි රජය සතු සියලු කර්මාන්ත ශාලාවලට පණ දීමේ වගකීම කර්මාන්ත අමාත්‍යංශය සතුයි. අපි ඒ වගකීමට උර දීමට සූදානම්” බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

අක්කර 500කට ආසන්න ප්‍රදේශයක පැතිරී ඇති කර්මාන්ත පරිශ්‍රයේ වසාදමා ඇති පරිපාලන ගොඩනැගිල්ල, යන්ත්‍රාගාරය, බොයිලේරු අංශය, වැඩ බිම් අංශය ආදී සියල්ල නිරීක්ෂණය කළ ඇමතිවරයා හිටපු සේවක පිරිස්, ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු පිරිසක් සමග මෙම ජාතික සම්පත යළි නගාසිටුවීම පිළිබඳව සාකච්ජාවක ද නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *