රංජන් සමඟ කතාකළ විනිසුරුවරුන් ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ සිදුකළ මතභේදාත්මක සංවාදයක නිරත වූ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. අදාළ චෝදනාව යටතේම ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල නිරත වූ විනිසුරුවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක, කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය සහ බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගේ රාජකාරී කටයුතුවලට මැදිහත් වූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට පසුගිය සතියේ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමත් සමග් අධිකරණ සේවා කොමිෂන් සභාව අද පස්වරුවේ තීරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩතහනම් කිරීමටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග සිදුකළ මතභේදාත්මක සංවාදවලට අදාළව මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇති බව වාර්තා වන අතර අදාළ චෝදනාව යටතේම දැනට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මහාධිකරණ විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විනය බලධරයා වන්නේ ජනාධිපතිවරයා බැවින් මහාධිකරණ විනිසුරුවරයෙකු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) බී යටතේ ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශයක් ඉදිරිපත් කිරීම පමණයි.

රංජන් රාමනායක මහතා විසින් කළ බලපෑම් සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 2015 දී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළත් නිසි විමර්ශනයක් සිදුවී නැති බව කියවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *