මහින්දානන්දට එරෙහිනඩුවේ සාක්ෂි යළි විභාග කරන්නැයි ඉල්ලීමක්

මේදිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන හඬපට වලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට පසුගිය කාලයේ සිදු කෙරුණු බලපෑම් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති බැවින්, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එල්ල වූ සාවද්‍ය මුදල් පරිහරණය කිරිමේ චෝදනාවට අදාල නඩුවේ සාක්ෂි විභාගය යලි සලකා බලන ලෙස ඒ මහතාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ඉකුත් රජය සමයේ මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නඩුවක් ගොණු කර තිබුණි.

එම නඩුව අද (16) කැඳවූ අවස්ථාවේ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පැවසුවේ මේදිනවල සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන දුරකථන හඬ පට ඔස්සේ අධිකරණයට හා විනිසුරුවරුන්ට පසුගිය කාලයේ සිදු කරන බලපෑම පිළිබඳව කරුණු අනාවරණය කර ඇති බවයි.

එම ආන්දෝලාත්මක දුරකථන ඇමතුම්වල තම සේවාදායකයාගේ නම ද අවස්ථා කිහිපයක සඳහන්ව තිබෙන බව පෙන්වා දී ඇති ජනාධිපති නීතිඥවරයා මෙම කරුණ සම්බන්ධයෙන් රජය මගින් පත් කිරීමට යෝජිත කොමිෂන් සභාවක් ඉදිරියේ තම සේවාදායකයා කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ. නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු විනිසුරුවරයා විසින් සටහන් කර ගැනිමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 10වන දා දක්වා කල්තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *