“‘ප්‍රහාර ඉවසන්නේ නැහැ’ සෞදි අරාබියෙන් හූති සංවිධානයට දැඩි අනතුරු ඇඟවීමක්

සෞදි අරාබියේ දකුණු ප්‍රදේශවල සිවිල් සහ ආර්ථික පහසුකම් ඉලක්ක කරමින් හූති සංවිධානය එල්ල කළ ප්‍රහාර මාලාවක් සෞදි අරාබිය දැඩි ලෙස හෙළා දැක තිබේ.

එම ප්‍රහාරවලින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 73 දෙනෙකු තුවාල ලබා ඇති බව සෞදි බලධාරීහු පවසති.

සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අබ්හා, ඛමිස් මුෂයිට්, ජසාන් සහ නජ්රාන් යන ප්‍රදේශවල පිහිටි ස්ථාන කිහිපයක් ප්‍රහාරවල ඉලක්ක වී ඇති බවයි.

ඇතැම් බලශක්ති පහසුකම්වලටද ප්‍රහාර එල්ල වී ඇති අතර, එමගින් ස්ථාන කිහිපයක ගිනිගැනීම් ඇතිවී තාවකාලිකව මෙහෙයුම් කටයුතු අඩාල වූ බව සෞදි බලධාරීහු සඳහන් කළහ.

රතු මුහුදේ වාණිජ නෞකාවලට හූති සංවිධානය අඛණ්ඩව එල්ල කරන ප්‍රහාරද සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය හෙළා දැක තිබේ.

එවැනි ක්‍රියා ජාත්‍යන්තර මුහුදු ගමනාගමනයේ නිදහසට තර්ජනයක් බවද එම අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

සිය භූමියට හෝ ජාතික දේපළවලට එල්ල කරන ප්‍රහාර “ඉවසන්නේ නැති” බව සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර නීතියට අනුකූලව සිය ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමටත්, පුරවැසියන් සහ රට තුළ සිටින පදිංචිකරුවන් ආරක්ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට තමන්ට ඇති අයිතිය සෞදි අරාබිය යළි අවධාරණය කර ඇත.

සාමය සාක්ෂාත් කර ගැනීමේ උත්සාහයන් ප්‍රතික්ෂේප කරමින් හූති සංවිධානය යේමනයේ මෙන්ම පුළුල් කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන සතුරු ප්‍රවේශයක් අනුගමනය කරන බවටද සෞදි අරාබිය චෝදනා කරයි.

සිවිල් වැසියන් සහ සිවිල් පහසුකම් ඉලක්ක කර ගනිමින් තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙස සෞදි අරාබිය අනතුරු අඟවා ඇති අතර, උත්සන්න වෙමින් පවතින තත්ත්වය වහාම නතර කරන ලෙසද ඉල්ලා තිබේ.

එමෙන්ම අදාළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර ප්‍රජාව සිය වගකීම් ඉටු කළ යුතු බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

ඒ අතර, යේමනය තුළ සෞදි අරාබිය මෑතකදී එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හූති සංවිධානය පවසයි.

හූති හමුදා ප්‍රකාශක යහ්යා සරී සඳහන් කර ඇත්තේ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කළ බවත්, සෞදි අරාබියේ ස්ථාන කිහිපයක් ඉලක්ක කළ බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *