ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන නැවත සකස් කරමින් දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශ තවදුරටත් මහජනතාවට විවෘතව තබන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු තහවුරු කර තිබේ.
2026 ජූලි 24 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ දූෂණ විරෝධී පනත් අංක 9/2023 යටතේ වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයට සංශෝධන සිදු කිරීමට යෝජනා කර තිබීමත් සමඟ මතුවූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරියාට අනුව, නීතිය යටතේ වත්කම් ප්‍රකාශ ලක්ෂ 1.6කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කිරීමත් සමඟ මුල් සංශෝධනය සකස් කර තිබේ. රජයේ මණ්ඩලවල සේවය කරන පෞද්ගලික අංශයේ වෘත්තිකයන් කිහිපදෙනෙකුද තම වත්කම් ප්‍රකාශ අනිවාර්යයෙන්ම මහජනතාවට හෙළි කිරීමෙන් තම පෞද්ගලිකත්වයට බලපෑම් ඇතිවිය හැකි බවට කරුණු ඉදිරිපත් කර තිබිණි.
එම කරුණු සැලකිල්ලට ගනිමින් මුල් සංශෝධනය සකස් කර තිබූ බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පසුව පැවති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති දිසානායක මහතා, දේශපාලන නොවන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කරන අතරම සියලුම තේරී පත්වූ නියෝජිතයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වත්කම් ප්‍රකාශ තවදුරටත් මහජනතාවට ප්‍රවේශ විය හැකි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙම සංශෝධන මගින් මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් මහජනතාවට පරීක්ෂා කිරීමේ අයිතිය තහවුරු කරමින්, නීතිය යටතේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට බැඳී සිටින අනෙකුත් කාණ්ඩ සඳහා වෙනස් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව නිලධාරියා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව සංශෝධිත යෝජනාව ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.


