රුපියල් මිලියන 150කට අධික වටිනාකමින් යුත් නව කෘෂි යන්ත්‍රෝපකරණ චිලව් වැවිලි සමාගමට

හලාවත වැවිලි සමාගම නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස රුපියල් මිලියන 150කට අධික වටිනාකමින් යුත් නව ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ තොගයක් එහි වැවිලි අංශ වෙත නිල වශයෙන් බෙදා දී තිබේ.

“තාක්ෂණය සහ ශ්‍රම බලයෙන් අනාගතය ජයගන්නා චිලව් වැවිලි සමාගම” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව ක්‍රියාත්මක කර ඇත. ඊට අදාළ නිල භාරදීම පලුගස්වැව වැවිලි අංශයේදී සිදු කෙරිණි.

මෙම නව යන්ත්‍රෝපකරණ අතර ජල බවුසර් 22ක්, ට්‍රැක්ටර් 27ක්, ට්‍රැක්ටර් ට්‍රේලර් 13ක්, අත් ට්‍රැක්ටර් 10ක්, අත් ට්‍රැක්ටර් ට්‍රේලර් 7ක්, තණකොළ කපන යන්ත්‍ර 31ක්, යාන්ත්‍රික සීසාන යන්ත්‍ර 2ක්, පඳුරු කපන යන්ත්‍ර 14ක්, රොටාවේටර් යන්ත්‍ර 4ක් සහ ඩිස්ක් හැරෝ යන්ත්‍ර 10ක් ඇතුළත් වේ.

වැවිලි ක්ෂේත්‍රයේ යාන්ත්‍රිකකරණය ප්‍රවර්ධනය කිරීම, ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා නවීන තාක්ෂණයෙන් ක්ෂේත්‍රය සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු බව නිලධාරීහු පැවසූහ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන්, අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ සහ චිලව් වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වතු කළමනාකරුවන් සහ සේවකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *