ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කලාපයේ දිගුකාලීන සංරක්ෂණය සහ තිරසර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමේ අරමුණින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුද්‍ර ඒකකය විසින් කයන්කේර්නි සමුද්‍ර අභයභූමිය සහ ඊට ආසන්න පාසිකුඩා වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව පුළුල් කොරල්පර සමීක්ෂණයක් සිදුකර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආරක්ෂිත සමුද්‍ර අභයභූමිය තුළ මෙන්ම ඊට යාබද ආරක්ෂිත නොවන මුහුදු ප්‍රදේශවල කොරල්පර පරිසර පද්ධතිවල වත්මන් තත්ත්වය මෙහිදී ඇගයීමට ලක් කළ බවයි. එමෙන්ම ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන තර්ජන හඳුනාගැනීම මෙන්ම ඉදිරි සංරක්ෂණ සහ ප්‍රතිස්ථාපන වැඩසටහන් සඳහා අවශ්‍ය විද්‍යාත්මක දත්ත රැස් කිරීමද සිදුකර ඇත.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ කොරල් ආරක්ෂිත ජීවී විශේෂ ලෙස නම් කර ඇති බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ක්ෂුද්‍ර ඇල්ගී විශේෂයක් වන සූක්සැන්තලී සමඟ සහජීවී සම්බන්ධතාවකින් ජීවත්වන කොරල්, පෘථිවියේ වඩාත්ම සශ්‍රීක පරිසර පද්ධති අතරින් එකක් වන කොරල්පර නිර්මාණය කරයි.
සාගර ජෛව විවිධත්වය සඳහා කොරල්පර අතිශය වැදගත් වන අතර, ඒවා විවිධ සාගර ජීවීන් සඳහා වාසස්ථාන, ආරක්ෂිත ස්ථාන, ප්‍රජනන සහ ආහාර ලබාගැනීමේ ප්‍රදේශ සපයයි. එමෙන්ම රළ සහ ඛාදනයේ බලපෑම අවම කරමින් වෙරළ තීර ආරක්ෂා කිරීම, ධීවර කර්මාන්තය හරහා වෙරළබඩ ජනතාවගේ ජීවනෝපායන් පවත්වාගෙන යාම සහ සංචාරකයන් ආකර්ෂණය කරමින් ප්‍රාදේශීය ආර්ථිකයට දායක වීමද කොරල්පරවල වැදගත් කාර්යභාරයන් වේ.
මෙම සමීක්ෂණයේ සොයාගැනීම්, පාර්ශ්වකරුවන් සමඟ එක්ව සංරක්ෂණ හා කළමනාකරණ තීරණ ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මූලික දත්ත ලෙස භාවිත කිරීමට හැකි වනු ඇතැයි දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම පරිසර පද්ධති ආරක්ෂාව සහ සංචාරකයන්ගේ අවශ්‍යතා අතර සමතුලිතතාවක් පවත්වා ගනිමින් තිරසර සංචාරක ව්‍යාපාරය සඳහා ඇති අවස්ථා පිළිබඳවද විශේෂ අවධානය යොමු කර ඇති බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


