දෙහිවල කවුඩාන ප්‍රදේශයේ රහසිගතව පාවහන් නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කළ බවට සැක කෙරෙන ස්ථානයක් වැටලීමේදී පාවහන් යුගල 1,000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ප්‍රසිද්ධ ඇඳුම් සහ විලාසිතා භාණ්ඩ අලෙවි ජාලයකින් මිලදී ගත් පාවහන් සම්බන්ධ ඉන්වොයිස් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැප්තැම්බර් 11 වැනිදා මෙම වැටලීම සිදු කළ බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාවහන්වල අඩි සහ අනෙකුත් කොටස් අමුද්‍රව්‍ය ලෙස වෙන වෙනම ආනයනය කර, පසුව දෙහිවල පිහිටි එම ස්ථානයේදී ඒවා එකලස් කර ඇලවීම සිදු කර ඇති බවට සැක කෙරෙන බවයි.
නිමි පාවහන් සඳහා අදාළ වන ආනයන බදු මඟහැරීම සඳහා මෙම ක්‍රමවේදය භාවිත කර ඇති බවට සැක කෙරෙන බව අධිකාරිය සඳහන් කරයි.
විමර්ශකයන්ට අනුව, මෙලෙස මෙරටදී එකලස් කළ පාවහන් පසුව ඒවායේ සැබෑ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය සඳහන් නොකර, “Made in China” ලෙස ලේබල් කර ඇසුරුම් කර ජනප්‍රිය අලෙවි ජාලයකට සපයා ඇති බවට සැක කෙරේ.
මෙවැනි ලේබල් කිරීමක් හේතුවෙන් පාවහන් ආනයනය කරන ලද නිෂ්පාදන බවට පාරිභෝගිකයන් නොමඟ යා හැකි බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. විශේෂයෙන්ම මෙම පාවහන් චීන අක්ෂර සහ “Made in China” සලකුණු සහිත පෙට්ටිවල අසුරා අලෙවි කර ඇති බවද අධිකාරිය සඳහන් කරයි.
වැටලීමේදී පාවහන් යුගල 1,000කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ඒවා නිෂ්පාදනය සහ එකලස් කිරීම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන අමුද්‍රව්‍ය ද අධිකාරිය භාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
ඉන්වොයිස් සහ සැපයුම් දාමයන් ඔස්සේ තොරතුරු සොයා බලමින් පාරිභෝගිකයන් නොමඟ යවන සහ නීති විරෝධී වෙළෙඳ ක්‍රියා හඳුනා ගැනීම සඳහා තවදුරටත් වැටලීම් සහ පරීක්ෂණ සිදු කරන බවත්, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.


