ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් 2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස එක්වීමට නියමිත බව ඉන්දීය Sportstar පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවමත් චමින්ද වාස්ගේ පත්වීම නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, ඔහු මේ වන විටත් නවදිල්ලියේ පැවැත්වෙන කණ්ඩායමේ සූදානම් කඳවුර සහ ක්‍රීඩක තේරීම් පරීක්ෂණ සඳහා එක්වී තිබේ.
51 හැවිරිදි චමින්ද වාස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 111කට සහ එක්දින ජාත්‍යන්තර තරග 322කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී පිළිවෙළින් කඩුලු 355ක් සහ 400ක් දවාගෙන තිබේ.
1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ වාස්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙසද විවිධ වගකීම් දරා තිබේ.
මේ අතර, හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිශ්‍රා ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස එක්ව ඇති බව Sportstar වාර්තා කරයි.
2027 IPL තරගාවලියට පෙර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ පුළුල් වෙනස්කම් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ. ඒ අනුව හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, යුවරාජ් සිං සහකාර පුහුණුකරු ලෙසත් එක්වීමට නියමිත බවට වාර්තා පළ වී තිබේ.
කෙසේ වෙතත්, මෙම පත්වීම් සම්බන්ධයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැත.


